"කොල්ලන්ට කැමති දැයි" රූට්ගෙන් ඇසීම ගැන ගේබ්‍රියල් සමාව ඉල්ලයි

Image copyright Getty Images

"කොල්ලන්ට කැමති දැයි" තමන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට්ගෙන් අසූ බව පවසන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂැනොන් ගේබ්‍රියල් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

එංගලන්තය සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර 30 හැවිරිදි ගේබ්‍රියල් තමන් සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජෝ රූට් පවසා තිබුණේ "නින්දාවක් වශයෙන් එය යොදා ගන්න එපා. සමරිසි වීම වරදක් නොවෙයි" යනුවෙනි.

ඒ හේතුවෙන් ගේබ්‍රියල්ට එක්දින තරග 4ක තහනමක් පැනවිණි.

"මම දැන් දන්නවා ඒක වරදක් කියලා. ඒ ගැන දැඩි ලෙස කණගාටු වෙනවා," ෂැනොන් ගේබ්‍රියල් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"තරග බිමේ එදිරිවාදිකම යන සන්දර්භය තුළ අපහාසයක් නොවන සරදමක් යැයි සිතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ කණ්ඩායම් සගයන් සහ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයන්ගෙන්, විශේෂයෙන් ම නායක ජෝ රූට්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදිනවා."

ක්‍රීඩකයන් අතර දෙබසක්

ටෙස්ට් තරගයේ තෙවෙනි දිනයේ "පිටියේ පැවති උණුසුම් අවස්ථාවක" වචන හුවමාරුව සිදුවූ බව ගේබ්‍රියල් පැවසීය.

"ඒ වෙලාවේ දැඩි පීඩනයක් පැවතියා. මම පන්දු යවන්න සූදානම් වෙනකොට එංගලන්ත නායක ජෝ රූට් මගේ දිහා දැඩි බැල්මක් හෙළාගෙන හිටියා. එය සියලුම ටෙස්ට් ක්‍රීඩකයින් දන්න සාමාන්‍යයෙන් අනුගමනය කරන මානසික උපක්‍රමයක්," ඔහු පැවසීය.

"මා තුළම පැවති පීඩනය නැති කර ගැනීමේ උත්සහයක් වශයෙන් 'මොකෝ හිනා වෙන්නෙ? ඔයා කොල්ලන්ට කැමති දැයි' මම ජෝ රූට්ගෙන් අසූ බව මට දැන් තේරුම් යනවා"

"මයික්‍රෆෝනයේ සටහන් වූ ඔහුගේ ප්‍රතිචාරය වූයේ 'නින්දාවක් වශයෙන් එය යොදා ගන්න එපා. සමරිසි වීම වරදක් නොවෙයි' යන්නයි"

"මගේ ප්‍රතිචාරය වශයෙන් : 'මට ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ, හැබැයි මා දිහා බලන් හිනා වෙන එක නවත්තනවද?' කියා කිව්වා"

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2.13 වගන්තිය

ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට, ක්‍රීඩා සහයකයෙකුට, විනිසුරුවරයෙකුට හෝ තරග තීරකවරයෙකුට පෞද්ගලිකව අපහාස කිරීම යන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2.13 වගන්තිය යටතේ ගේබ්‍රියල්ට චෝදනා එල්ල වී තිබිණි.

එම චෝදනාවට වරදකරු බව පිළිගැනීමෙන් පසු ගේබ්‍රියල්ගේ තරග ගාස්තුවෙන් 75%ක දඩයක් ද නියම කෙරුණු අතර දඬුවම් ලකුණු 3ක් එක් විය.

තරගයේ විනිසුරුවරුන් වූ කුමාර් ධර්මසේන සහ රොඩ් ටකර් සමගින් තෙවන විනිසුරු ක්‍රිස් ගැෆනි ගේබ්‍රියල්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබිණි. තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් පනවන ලද තහනම පිළිගත් හෙයින් නිල විමර්ශනයක් සිදු නොවිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර