"හිටපු ක්‍රීඩකයින් ක්‍රිකට් බෝඩ් එකට ඇඟිලි ගහන එකම රට මේක" - ක්‍රිකට් නව සභාපති

"මේක තමයි එක ම රට හිටපු ක්‍රීඩකයන් ඇවිල්ලා ක්‍රිකට් බෝඩ් එකට ඇඟිලි ගහන" මෙසේ පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019 - 2021 කාල සීමාව සඳහා අලුතින් තේරී පත්වූ සභාපති ශම්මි සිල්වාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුව පළමු වරට මාධ්‍ය අමතමින් ඔහු කළ මේ ප්‍රකාශය කාගේත් අවධානයට යොමු විය.

ඒ, මෙරට බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයන් දෙපළක් වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොමු කර ඇති සැලැස්ම ගැන විමසීමේදී මෙම ක්‍රීඩකයන් දෙපළ ඉලක්ක කර ගනිමින් නව සභාපතිවරයා මේ ප්‍රකාශය සිදු කළ හෙයිනි.

"ඔවුන් මුලින් ම අපේ ක්‍රිකට් ව්‍යුහය බලන්න ඕනේ, ඔස්ට්‍රේලියාවේ හෝ ඉන්දියාවේ ව්‍යුහය තමයි හොඳ කියන්න බැහැ. අපිට තියෙන්නේ අපිට විශේෂ ක්‍රිකට් ව්‍යුහයක්. ලෝක කුසලාන 2ක් දින්නේ අවසාන මහා තරග 3කට ආවේ මේ ව්‍යුහය නිසා. මේ අවුරදු 100ක් පරණ මේ ව්‍යුහයත් එක්කයි අපි ඉස්සරහට යන්නේ, එක පාරට ඇවිල්ලා දැන් මේක වෙනස් කරන්න කියනවා, අපිට ඒ ගැන කතා කරලා බලන්න වෙනවා"

"ඔවුන් ඉහළ පෙළේ ක්‍රීඩකයන්, දැන් ඉන්දීය ක්‍රිකට් ගන්න, ඔබ හිතනව ද හිටපු ඉන්දීය ක්‍රීඩකයන් වන ගවස්කාර්, කපිල් දෙව්, සචින් ටෙන්ඩුල්කාර් වගේ අය ඒ අයගේ ක්‍රිකට් බෝඩ් එකට ඇඟිලි ගහනවා කියලා? නැහැ. අපේ රටේ විතරයි ක්‍රීඩකයෝ එහෙම ඇඟිලි ගහන්නේ" ශම්මි සිල්වා කියා සිටියේය.

නව ක්‍රිකට් සභාපතිවරයා මෙම ප්‍රකාශය කළේ, "ක්‍රිකට් නිලවරණය කුමන පාර්ශවයක් ජය ගත්තත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා ඇතුළු පිරිසක් ලබා දුන් වාර්තාව ක්‍රියාත්මක කරන" බවට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසා ඇති අවස්ථාවකය.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු නිලවරණයෙන් අනතුරුව බීබීසි සිංහල සේවයට පැවසුවේ, සති තුනක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයන් ලබා දුන් වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කරන බවය. කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසු මැයි මාසය වන විට එම යෝජිත වෙනස්කම් පාර්ලිමේන්තුව හරහා නීතියක් ලෙස සම්මත කරගන්නා බව ඔහු පැවසීය.

මෙම යෝජිත ව්‍යවස්ථා වෙනස ගැන අදහස් දක්වමින් නව ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තම කණ්ඩායම සමග සාකච්ඡා කර නොමැති බවය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

කවුද මේ ශම්මි සිල්වා?

ශම්මි සිල්වා, කොළඹ CCC ක්‍රීඩා සමාජයයේ සභාපතිවරයා වන අතර පසුගිය තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයේ භාණ්ඩාගාරික ලෙස ඔහු කටයුතු කළේය.

මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරයට තිලංග සුමතිපාල පාර්ශවයෙන් ඔහු ඉදිරිපත් වූයේ, මින් පෙර සභාපති ධුරයට ඉදිරිපත් වීමට තිබූ මොහාන් ද සිල්වාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, මෙම තනතුර තමන්ට "අහම්බෙන් හමුවූ එකක්" බවය.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ශම්මි සිල්වා ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති නිලවරණයට පැමිණ සිටියේ, තිලංග සුමතිපාල ද සමගය.

ක්‍රිකට් නිලවරණය පැවැත්වෙද්දී ශම්මි සිල්වා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සමග ද මත ගැටුමක නියැළුණේ, ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන බවට මාධ්‍ය හමුවක කළ චෝදනාවක් හේතුවෙනි. පසුව ඔවුන් දෙපළ අතර පැවති මත ගැටුම සමථයකට පත් වූ බව වාර්තා විය.

ක්‍රිකට් බලය නැවත තිලංගට?

මාස 9ක කාලයක් ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය යළි ලබා ගැනීමට තිලංග සුමතිපාල පාර්ශවයට හැකි වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජ ජන්ද බලය නැවතත් තමන් සතු බව පෙන්වමිනි.

තිලංග සුමතිපාල තම දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණයට ඉදිරිපත් නොවන බව මුලදී ම නිවේදනය කළේය.

ඔහු එසේ පැවසුවත් හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග පැවසුවේ, තිලංග සුමතිපාලට "බුකී ව්‍යාපාර සමග ඇති සමබන්ධතාව" නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට ක්‍රිකට් පරිපාලනයට පැමිණීම තහනම් කර තිබෙන බවය.

කෙසේ නමුත් එම ප්‍රකාශය අසත්‍යක් බව බීබීසි සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල පැවසීය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් බීබීසි සිංහල සේවය කළ විමසුමට ප්‍රතිචාරයක් නොලැබිණි.

තිලංග සුමතිපාල නොමැති වුවත් ඔහු ඉදිරිපත් කළ කණ්ඩායම නිලවරණය පහසුවෙන් ජය ගත් අතර නොනිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන බලය නැවත තිලංග සුමතිපාල සතු වුයේද යන්න පිළිබඳ ප්‍රත්ගිවදී කණ්ඩායම් සැක පළ කරති. ශම්මි සිල්වා ඇතුළු පිරිස නිලවරණය ජය ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේ තිලංග සුමතිපාල සමග වීම ද විශේෂත්වයකි.

"මගේ සහයෝගය ලැබුණු කණ්ඩායම ජයග්‍රහණය කළා" තිලංග සුමතිපාල නිලවරණයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ජයග්‍රහණයය කළ මෙම පිරිස මෙහයවන හස්තය ඔබ දැයි මාධ්‍යවේදියෙකු විමසූ විට තිලංග සුමතිපාල ලබා දුන්නේ, මෙවන් පිළිතුරකි.

"නෑ, එහෙම නැහැ, මම තමයි ලංකාවේ නෙවෙයි ලෝකයේ තියෙන සියලු ම ක්‍රිකට් පාලක මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ නිලධාරියා. මට තරම් අත්දැකීම් තියෙන කෙනෙක් ලංකාවේ නෙවෙයි ලෝකේ කිසි ම ක්‍රිකට් පාලක මණ්ඩලයක නැහැ. ඉතින් මොකක් ද මගේ වගකීම. මගේ වගකීම අවශ්‍ය තැන්වලට මැදිහත් වෙලා උපදෙස් දෙන්න, ඒ අයට මගේ අත්දැකීම් දෙන්න" ඔහු කියා සිටියේය.

අර්ජුණ නැවතත් පරාදයි!

Image copyright AFP

හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ක්‍රිකට් නිලවරණයකදී තිලංග සුමතිපාල පාර්ශවයට මෙවර පරාජය වූයේ, තුන් වන වරටය.

ක්‍රිකට් උප සභාපති තනතුරකට තරග කළ අර්ජුණ රණතුංග සුමතිපාල පාර්ශවයේ රවීන් වික්‍රමරත්නට මෙන් ම ස්වාධීනව තරග කළ කේ. මතිවානන්ට පරාජය විය.

පරාජයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අර්ජුණ රණතුංග පැවසුවේ, "රටේ ජනාධිපති පවා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වුවහොත් පරාජයට පත්වෙනවා" යනුවෙනි.

"මම මේ තුන් වෙනි පාර පැරදුණේ ක්‍රිකට් නිලවරණයක, මේක හොඳ අවස්ථාවක් මහ ජනතාවට මේ රටේ ක්‍රිකට් මාෆියාව හඳුනා ගන්න, මොක ද මේ රටේ ඕනෙ ම තැනක ඕනෑ ම පක්ෂයකින් ඡන්දය ඉල්ලුවොත් දිනන මිනිහෙක් මං"

"ක්‍රිකට්වලට දෙයියන්ගේ ම පිහිටයි. මේ ගොල්ලො ම නේ පහුගිය අවුරුදු දෙකේ ක්‍රිකට් විනාශ කළේ. දැන් ආයෙමත් බලය ඒගොල්ලන්ට ම ලැබිලා තියෙනවා"

"රටේ මහජනතාව මට බනිනවා මම ක්‍රිකට් හදන්න උත්සාහ කළේ නැහැ කියලා, දැන් මට බනින්න එපා. මම එන්න හැදුවා ඔන්න වෙච්ච දේ" හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග නිලවරණයෙන් අනතුරුව මාධ්‍යයට කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර