ශ්‍රී ලංකා ක්‍රිකට්: ලසිත්/දිමුත්/මැතිව්ස් ලෝක කුසලාන වෙනසක් අත ළඟ?

Image copyright ANESH DEBIKY/AFP/Getty Images

දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය දැනටමත් 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබීමත් සමග නැවතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම දක්වන දුර්වල ක්‍රීඩා විලාසය ගැන ක්‍රීඩා ලෝලීන්ගේ මෙන් ම ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

දකුණු අප්‍රිකාවේ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලබා එක්දින තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් ලබා ගත් ජයග්‍රාහී මානසිකත්වය අහිමි කර ගනිමින් මේ වන විට තමන් ක්‍රීඩා කළ තරග තුනෙන් ම පරාජයට ලක්ව තිබේ.

මැයි මස 30 වන දා එංගලන්තයේදී ඇරඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් එක්දින තරගාවලිය මෙය වන අතර ශ්‍රී ලංකා පිළේ අඩුපාඩුවලට පිළියම් සොයා ගත හැකි තරගාවලියක් ලෙස එය හැඳින්විණි.

කෙසේ වෙතත් මේ වන විට පෙනෙන්නට තිබෙන ආකාරයට මෙම තරගාවලිය තවත් ප්‍රශ්නාර්ථ රැසක් සමගින් අවසන් වීමට නියමිතය.

ලසිත් මාලිංග නායකත්වයට සුදුසු ද? අසාර්ථක වූ කණ්ඩායමේ උපනායක නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් දිය හැකි ද? දික්වැල්ල ඉවත් කරන්නේ නම් කඩුලු රකින්නේ කවුද? ආරම්භක පිතිකරුවන් කවුද? අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග ඊට සුදුසු ද? තිසර පෙරේරාට අංක 7 ක්‍රීඩා කළ හැකි ද? අකිල ධනන්ජය නව පන්දු යැවීමේ ඉරියව්ව සමග සාර්ථක ද? වේග පන්දු යවන්නන් කවුද? කුසල් ජනිත්ට නැවතත් ආබාධයක්? මේ ආකාරයෙන් ප්‍රශ්න රාශියක් දැනටමත් ක්‍රීඩා ලෝලීන් මෙන් ම ක්‍රීඩා විචාරකයන් සමාජ මාධ්‍යවල මතු කර තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජූනි මාසයේ සිට සහභාගි වී තිබෙන එක්දින තරග 17න් ජයගෙන තිබෙන්නේ තරග 3ක් පමණය. එම තරග 3 ද ජයගෙන තිබෙන්නේ තරගාවලි පරාජය වීමෙන් පසුව වීම විශේෂත්වයකි.

ලසිත් මාලිංග සාර්ථක ද?

Image copyright Sri Lanka Cricket
Image caption ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවූ අවස්ථාව

වසරක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමිව සිට පසුගිය සැප්තැම්බර් මාසයේ නැවත කණ්ඩායමට කැඳවූ ලසිත් මාලිංග මේ වන විට නැවත කණ්ඩායමට පැමිණි පසු තරග 12ක් ක්‍රීඩා කර පන්දුවාර 100කදී ලකුණු 584ක් ලබාදී කඩුලු 20ක් බිඳ දමා තිබේ.

පන්දු වාරයකට ලකුණු 5.84ක් ලබාදී තිබෙන ඔහු කඩුලු 20ක් බිඳ දමා තිබෙන්නේ ලකුණු 29.20ක සාමාන්‍යයකිනි. එම කාල සීමාවේ ශ්‍රී ලංකාවට වැඩි ම කඩුලු බිඳ දමා තිබෙන්නේ ලසිත් මාලිංග වුවත් තිසර පෙරේරා හැර අනෙකුත් එකදු පන්දු යවන්නෙකුවත් එම කාල සීමාවේ තරග 10කට වඩා ක්‍රීඩා කර නොමැත.

විශේෂයෙන් ම ලසිත් මාලිංග යටතේ ක්‍රීඩා කළ නොහැකි බව ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර තිබූ අතර එයින් තිසර පෙරේරා එවූ ලිපිය ප්‍රසිද්ධියට පත් විය.

නවසීලන්ත සංචාරයේ සිට ලසිත් මාලිංග ශ්‍රී ලංකාව මෙහෙය වූ අතර ඔහු නායකත්වය දුන් තරග 6 ම පරාජයට පත්ව තිබේ. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම් රැසක සාමාජිකයෙකු වූ ලසිත්ට තම නැවත පැමිණීමේදී තවමත් තරගයක් ජය ගත් කණ්ඩායමක සාමාජිකයෙකු පවා වීමට නොහැකි වී තිබේ.

ඒ, මෙම කාලවකවානුවේ ඔහු සහභාගි වූ විස්සයි විස්ස තරග ඇතුළු තරග 13ක් ම ශ්‍රී ලංකාව පරාජය වීම නිසයි. එම කාලවකවානුවේ ශ්‍රී ලංකාව එක තරගයක් ජයගෙන තිබූ අතර එම තරගයට ලසිත් මාලිංග ක්‍රීඩා කර නොතිබිණි.

Image copyright AFP
Image caption දිමුත් කරුණාරත්න

ලෝක කුසලානයට සහභාගි වන අනිකුත් රටවල් 9යේ ම ලෝක කුසලාන කණ්ඩායමේ නායකයන් කවුදැයි මේ වන විට පැහැදිලි නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුදැයි පිළිබඳව තවමත් ඇත්තේ ප්‍රශ්නයකි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය සඳහා පමණක් ලසිත් මාලිංග නායකයා ලෙස පත් කර ඇති හෙයිනි.

දැන් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ලැබී තිබෙන තිලංග සුමතිපාල හිතවාදී පාර්ශවය පසුගිය සමයේ ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම ගැන දැඩි විවේචනයන් ඉදිරිපත් කර තිබිණි.

බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ක්‍රිකට් බලධාරියෙකු පැවසුවේ, ලෝක කුසලාන නායකයා කවුදැයි තවමත් තීරණය කර නොමැති බවය. ලසිත් මාලිංග නායකයා ලෙස තහවුරු කළ නොහැකි බව ද ඔහු පැවසුවේය.

දිමුත්ගේ ආගමනය

දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලි ජයක් සඳහා ශ්‍රී ලංකාව මෙහෙය වූ දිමුත් කරුණාරත්න, ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් එක්දින කණ්ඩායමට කැඳවීම ගැන සලකා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ, අවශ්‍යතාවක් ඇති වුවහොත් ශ්‍රී ලංකා කාණ්ඩායම මෙහෙයවීමට ඔහුට භාර කිරීමේ අරමුණින්ය.

සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරග පමණක් ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක් ක්‍රීඩා කළේ, 2015 ලෝක කුසලානයේදීය. මෙම කාලවකවානුවේ ටෙස්ට් තරග නොමැති නිසා දිමුත් කරුණාරත්න එංගලන්ත හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගත කර ගෙන තිබිණි. කෙසේ නමුත් දැන් වාර්තා වන්නේ ලෝක කුසලාන සංචිතය තේරීමේ අරමුණින් පැවැත්වෙන තරග සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට දැනුම් දී ඇති බවය.

කෙසේ වෙතත් ඒ සඳහා පුහුණු තරගවලදී දිමුත් කරුණාරත්න ලකුණු අතරට පැමිණීම අත්‍යවශ්‍ය වනු ඇත.

මන්ද ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2015 වසරේදී වීම නිසාය. දිමුත් කරුණාරත්න එක්දින තරගවලට යොදා ගැනීමට බලාපොරොත්තුවක් තිබුණේ නම් ඔහු දකුණු අප්‍රිකානු එක්දින තරගවලට නොයෙදුවේ ඇයි ද? යන්න මේ දිනවල සමාජ මාධ්‍යවල ක්‍රීඩා ලෝලීන් මතු කර තිබූ ගැටලුවකි.

මැතිව්ස්ගේ පැමිණීම / චන්දිමාල් සටනේ

ආබාධයට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් දැන් සිය ආබාධය සුව කරගෙන තරග පිටියට පිවිස තිබේ. ඒ මේ දිනවල පැවැත්වෙන ප්‍රිමියර් අන්තර් සමාජ එක්දින තරගාවලියේ කොල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි.

ලෝක කුසලානයේදී මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර එහිදී ඔහු පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරනු ඇත.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ම නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් සැලකෙන අතර වසර ගණනාවක් ශ්‍රී ලංකාව සාර්ථකව මෙහෙයවූ අත්දැකීම් ඔහු සතුව තිබේ.

මේ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් මැතිව්ස් යළි නායකත්වයට පත් කළ යුතු බවට මතයක් ඇති අතර ඒ සඳහා බාධාවක්ව තිබෙන්නේ ඔහු දිගින් දිගට ම ආබාධයන්ට ලක් වීමේ ඇති අවදානමයි.

කණ්ඩායමෙන් ඉවත් කළ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමේ අරමුණින් ප්‍රිමියර් අන්තර් සමාජ එක්දින තරගාවලියේ ක්‍රීඩා කරන අතර නිරෝෂන් දික්වැල්ල අසාර්ථක වීමත් සමග කඩුලු රකින්නේකුගේ අවශ්‍යතාව මතු වීම ඔහු වෙත යළි අවධානය යොමුවිය හැකි කරුණකි. කුසල් ජනිත් පෙරේරාට කඩුලු රැකිය හැකි වුවත් ඔහු දැන් ආබාධයකට ලක්ව සිටීම නිසා එය ද අවිනිශ්චිත වනු ඇත. ඔහුගේ අබාධය සුව වීමට සති 5කට ආසන්න කාලයක් ගත වනු ඇති බව වාර්තා වෙයි.

ඉදිරි දකුණු අප්‍රිකා එක්දින තරග 2 සහ විස්සයි විස්ස තරග 3 ලෝක කුසලාන තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන් අත්හදා බැලීම සඳහා යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති ආකාරයක් දැන් පෙනෙන්නට තිබේ.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර