ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ?

Image copyright Getty Images

දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර යළි දිවයිනට කැඳවූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (මාර්තු 21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණි.

මෙම හමුව පැවැත්වූයේ මැයි 30 වැනිදා ආරම්භවන 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ සිටිය යුතුද නැද්ද පිළිබඳ සංවාදයක් මතුවී ඇති අවස්ථාවකදීය.

ඉදිරි ලෝක කුසලානය සම්බන්ධයෙන් ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අවසන්වූ වහාම ක්‍රිකට් බලධාරීන් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවනු ලැබිණ.

කෙසේ වෙතත්, නව නායකයකු මෙන්ම නව පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකා පිළ ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යන බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

චන්දික හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම මුහුණ දෙන පරාජයන් සහ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ ඔහු අතර ඇතිව තිබෙන මත ගැටුම් මෙයට හේතු ලෙස එම වාර්තාවල සඳහන් වේ.

ඊට අමතරව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ද දැඩි මත ගැටුමක් පවතින බව වාර්තා වන අතර පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් අසන්ත ද මෙල් හතුරුසිංහ ඉලක්ක කරගනිමින් ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබිණි.

කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට ගත් තීරණය මෙන්ම දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ඉවත්කර ඒ වෙනුවට ලසිත් ඇඹුල්දෙනිය කැඳවීම වැනි තේරීම් කමිටුව ගත් තීරණ පිළිබඳ චන්දික හතුරුසිංහගේ කැමැත්තක් නොතිබූ බව තේරීම් කමිටු සභාපතිවරයා එම පුවත්පතට පවසා තිබුණි.

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියා සංචාරය අතරතුර චන්දික හතුරුසිංහ එතෙක් දැරූ තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඔහු ඉවත් කළේ ද මෙම මත ගැටුම හේතුවෙන් බව වාර්තා පළවිය.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ නායකත්වය දීමට සලකා බලන ක්‍රීඩකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග ද පුහුණුකරු හතුරුසිංහ සමග එතරම් හොඳ සම්බන්ධතාවක් නොදක්වන බව විශ්වාස කෙරේ.

දිනේෂ් චන්දිමාල් එක්දින නායකත්වයෙන් ඉවත්කර ලසිත් මාලිංග පත්කිරීම ගැන චන්දික හතුරුසිංහ කැමැත්තක් නොදැක්වූ අතර ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමේදී ඔවුන් දෙපල අතර ප්‍රසිද්ධ මත ගැටුමක් ඇතිවිය.

මේ තොරතුරුද කියවන්න:

මෙවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හා චන්දික හතුරුසිංහ අතර ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සාකච්ඡාව පැවැත්වුණු අතර එහිදී කතාබහට ලක්වූ දෑ මාධ්‍යට හෙළි නොකිරිණි.

මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකුගෙන් විමසු විට ඔහු පැවසුවේ චන්දික හතුරුසිංහ ඉදිරි ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවය. හතුරුසිංහ යොදා නොගන්නේ නම් ඒ සඳහා යොදාගත හැකි විකල්ප පුහුණුකරුවන් ගැනද ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක් වී තිබේ.

තාවකාලික පදනම මත ලෝක කුසලානයට පමණක් ටොම් මුඩී වැනි ජාත්‍යන්තර පුහුනුකරුවකුගේ සහය ලබාගත හැකිද යන්න පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සොයා බලා ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ.

චන්දික හතුරුසිංහ 2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස පත්කළේ මෙතෙක් ශ්‍රී ලංකා පුහුණුකරුවකුට ලබාදී තිබු වැඩිම මුදල ලබාදෙමිනි. ඒ ඒවන විට ඔහු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග ලබාගෙන තිබු සාර්ථකත්වය සළකාබලමිනි.

කෙසේ නමුත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කල අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වුයේ ජයග්‍රහණවලට වඩා පරාජයන්ය.

Image copyright Getty Images

විශේෂයෙන්ම එක්දින තරගවල ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි පසුබෑමක් පෙන්නුම්කරන අතර තරග 24කදී ලබාගෙන ඇත්තේ ජයග්‍රහණ 6ක් පමණි. එම ජයග්‍රහණ වලින් 3ක් හතුරුසිංහ ශ්‍රී ලංකා පුහුණුකරු ධුරයට පත් පළමු සංචාරයේ බංගලාදේශයේ වාර්තාවූ අතර ඉතිරි තරග 3 ජයගත්තේ තරගාවලි පරාජයවීමෙන් අනතුරුවය.

හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකාව:

1. ටෙස්ට් තරග 16: ජයග්‍රහණ 6, පරාජයන් 7, ජය පරාජයෙන් තොර 3.

2. එක්දින තරග 24: ජයග්‍රහණ 6, පරාජයන් 18.

3. T20 තරග 9: ජයග්‍රහණ 3, පරාජයන් 6.

තවත් තොරතුරු:

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එළඹුණු ගිවිසුම් 2020 වසර දක්වා බලපැවැත්වෙන අතර ඒ ගැන මෙන්ම ඔහුට ලබාදෙන වැටුප ගැන ද පසුගිය කාලයේ සංවාදයට ලක්විය.

පෙබරවාරි මාසයේ මේ ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති හා වත්මන් විධායක කමිටු සාමාජික තිලංග සුමතිපාල පැවසුවේ "අපි දක්ෂයි හොඳ මිනිස්සු නැති කරගන්න, ඉන්න මිනිහ රැකගන්න මහන්සිවෙනවා මිසක් එයාගේ අඩුපාඩු හොයා හොයා ඉන්නවා, මටත් හතුරුසිංහමහත්තයගේ යම් යම් දේ ගැන විවේචන තියෙනවා නමුත් අපි බලන්න ඕනේ මේකේ සම්පුර්ණ චිත්‍රය," යනුවෙනි.

"අද IPL කණ්ඩායමක පුහුණුකරුට ගෙවනවා සති 8ට අවම ඩොලර් ලක්ෂ දෙකක්, එතකොට CPL, BPL, BBL තියෙනවා. එතකොට නිකන් බැලුවොත් මහේල ජයවර්ධන වගේ කෙනෙක් අවුරුද්දට තරගාවලි 3ක් ආවරණය කරලා එයාට ගෙවනවා අපේ ප්‍රධාන පුහුණුකරුට වඩා තුන් ගුණයක් හැබැයි එයා අවුරුද්දට මාස 7යි වැඩ කරන්නේ. ඒ නිසා අපි කොහොමද හොඳ පුහුණුකරුවෙක් ජාතික කණ්ඩායමක හිරකරන්නේ හොඳ වැටුපක් නොගෙවා," තිලංග සුමතිපාල, චන්දික හතුරුසිංහට ලබාදෙන වැටුප ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

ලෝක කුසලානය ක්‍රීඩා කරන අනිකුත් රටවල් 9ම තමන් ක්‍රීඩා කරන කණ්ඩායම පවා ස්ථිරව ප්‍රකාශ කළ හැකි ආකාරයේ ස්ථාවර මට්ටමක සිටින නමුත් ශ්‍රී ලංකා සිටින්නේ ක්‍රීඩා කරන කණ්ඩායම, නායකයා හෝ පුහුණුකරු කවුදැයි යන්න පවා නොදන්නා අවිනිශ්චිත තත්වයකය.