ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ලෝක කුසලානය සහ ලසිත් මාලිංග

Image copyright Getty Images

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට මෙය සුදුසු කාලය නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක පවසයි.

බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ඔහු පැවසුවේ පළපුරුදු ක්‍රීඩකයින් ලබාදී කණ්ඩායම ශක්තිමත් කිරීම මිස නායකත්වය වෙනස් කිරීම මේ අවස්ථාවේ නුසුදුසු බවය.

"මේ අවස්ථාවේ ඔහුව නායකත්වයෙන් ඉවත් කළ හොත් ඔහු ක්‍රිකට් වලින් සමු ගැනීමට පවා ඉඩ තිබෙනවා," සමරනායක කීවේය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන අතර නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයේදී එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරක කණ්ඩායම පරාජය වීමත් සමගම නායකත්වයේ වෙනසක් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ විය.

"දැන් බලන්න මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කළේ ලෝක කුසලානයට මාස 5ක් තිබියදී. ඒකෙන් මොකක්ද වුණේ? කණ්ඩායම තවත් දුර්වල වුණා," සමරනායක කීය.

පළපුරුදු ක්‍රීඩකයින් වන මැතිව්ස්, උපුල් තරංග, තිරිමාන්න වැනි ක්‍රීඩකයින් සහ ඉසුරු උදාන ලෝක කුසලාන තරඟ සඳහා කැඳවිය යුතු බවද ඔහු පැවසීය.

මේ අතර දකුණු අප්‍රිකානු තරඟාවලිය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා (මාර්තු 26) දිවයිනට පැමිණියේය.

Image copyright Getty Images
Image caption ඉසුරු උදාන ලෝක කුසලාන තරඟාවලියට!

එහිදී මාධ්‍ය ඇමතූ එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පැවසුවේ දකුණු අප්‍රිකානු තරඟ පැරදුන ද හොඳ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ලෝක කුසලානයට පෙර හඳුනාගැනීමට හැකිවූ බවය.

ඒ අතර ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ වන බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 9 දෙනෙක් හෝ 10 දෙනෙක් සිටි බවත් වර්තමාන කණ්ඩායම එසේ නොවන බවද මාලිංග පැවසීය.

නමුත් ක්‍රීඩකයින්ට අත්දැකීම් ලැබෙන විට තරඟ ජයග්‍රහණය කිරීමට කණ්ඩායම සමත්වනු ඇති බව මාලිංග කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරඟ දෙකකට එක්දින තරඟ පහකට සහ විස්සයි විස්ස තරඟ තුනකට සහභාගි විය.

එහිදී ටෙස්ට් තරඟාවලිය 2-0 ලෙස ජයගත්ත ද අනෙකුත් තරඟ කිසිවක් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් නොවීය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ මාලිංග පැවසුවේ කණ්ඩායමක් ජයග්‍රහණය කරා ගෙන යාමට පීඩනය දරාගත හැකි දක්ෂ ක්‍රීඩකයින් අවශ්‍ය බවය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනයි බිංදුවක් ලෙස ජයගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉරිදා (මාර්තු 24) සමත් විය.

ඒ දෙරට අතර ජොහැන්නස්බර්ග්හි පැවති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමයට ලකුණු 45 කින් ජයගැනීමත් සමගය.

ඊට පෙර පැවති එක්දින තරඟාවලිය 5 ට බිංදුවක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

Image copyright facebook
Image caption අයිපීඑල් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට අවසර ලබා දීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රීඩාලෝලීහු විවිධ අදහස් පළ කරති

මේ අතර අයිපීඑල් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට අවසර ලබා දීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රීඩාලෝලීහු විවිධ අදහස් පළ කරති. ඉහතින් දැක්වෙන්නේ එසේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අදහස් කිහිපයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ පළාත් තරඟාවලියට වඩා ශක්තිමත් කණ්ඩායම් සමග තරඟ කිරීමට අයිපීඑල් තරඟාවලියේදී ඉඩලැබෙන බැවින් මාලිංගට ඉන්දියාව බලා යාමට අවසරදීමට තීරණය කළ බවය.

මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මාලිංග පැවසුවේ මුම්බායි කණ්ඩායම සමග සාකච්ඡා කර නැවත ශ්‍රී ලංකාවට පැමිණ පළාත් තරඟාවලියට සහභාගී වීමට තමා බලාපොරොත්තු වන බවය.

"ලෝක කුසලාන කණ්ඩායම තෝරා ගැනීමට පළාත් තරඟාවලිය යොදා ගන්නවා. ඒ නිසා එක්දින කණ්ඩායමේ නායකයා විදියට මම එම තරඟාවලියට සහභාගී වීම වැදගත්," මාලිංග පැවසීය.

ලෝක කුසලාන තරඟාවලිය

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඇත්තේ තවත් මාස දෙකක කාලයකි.

ලෝක කුසලාන තරඟාවලිය ආසන්න බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අස්ථාවර ස්වභාවය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානයට යොමු වී ඇති බව පෙනිණි.

ඒ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංග එක්දින තරඟාවලියෙන් පසු නැවත ශ්‍රී ලංකාවට කැඳවීමත් සමගය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මැයි මස 30 වනදා එංගලන්තයේ දී ඇරඹේ. ඒ සඳහා ඇත්තේ මාස දෙකක කාලයකි.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවිය හැකි බවට ද මාධ්‍ය වාර්තා පළවේ. මෙවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ වේදැයි යන්න ද අවිනිශ්චිතය.

ලසිත් මාලිංග පැවසු ආකාරයට දකුණු අප්‍රිකානු තරඟ වලදී දස්කම් පෑ ක්‍රීඩකයින් අතුරින් ඉසුරු උදානට ලෝක කුසලානය සඳහා තෝරාගන්නා කණ්ඩායමේ තැනක් හිමිවීමට ඉඩ තිබේ.

Image copyright Getty Images
Image caption ඉසුරු උදාන

කවුද මේ ඉසුරු උදාන?

1988 පෙබරවාරි 17වනදා බලංගොඩදී උපත ලැබූ ඉසුරු උදාන ආනන්ද මෛත්‍රීය විද්‍යාලයේ සහ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

ජාතික මට්ටමේ මලල ක්‍රීඩකයෙක් වූ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ අහම්බෙනි.

ආරම්භක පන්දු යවන්නෙක් සහ මැද පෙළ පිතිකරුවකු ලෙස අන්තර් සමාජ තරඟවලදී දස්කම් දක්වන උදාන ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාගැනීම සිදුවෙන්නේ 2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහාය.

එහිදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරඟය ඔහුගේ මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය විය.

එම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟය තෙක් ගෙන ඒමට උදාන සැළකිය යුතු දායකත්වයක් ලබාදීමට සමත් විය.

2012 දී ප්‍රථම වරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කරන ඔහු ඉන් පසු කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් හිමි කර ගැනීමට සමත්වූයේ නැත.

ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස ලීග් තරඟවලට තම දායකත්වය ලබාදෙන උදාන එම තරඟ වලදී දක්වන දස්කම් හේතුවෙන් 2017 දී නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය දිනා ගැනීමට සමත් විය.

පසුගිය සංචාරයේදී එක්දින තරඟ තුනකට සහ විස්සයි විස්ස තරඟ තුනකට සහභාගි වී පිතිකරුවෙක් ලෙස වැඩි දස්කම් දැක්වීමට හේ සමත් විය.

දකුණු අප්‍රිකාව සමග පොර්ට් එළිසබෙත් හි පැවති සිව්වන එක්දින තරඟයේදී උදාන පන්දු 57කදී ලකුණු 78ක් ලබාගත් අතර එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 9 පිතිකරුවා ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වේ.

එසේම දෙවන විස්සයි විස්ස තරඟයේදී පන්දු 48කදී ලකුණු 84ක්ද තෙවැනි තරඟයේදී පන්දු 23කදි ලකුණු 36ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් ලබාදීමට ඉසුරු උදානට හැකිවිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර