ලෝක කුසලාන නායකත්වය ගැන දිමුත් කරුණාරත්න පළ කළ අදහස්

කොළඹ දී වාහනයක් පදවමින් සිටින අතරවාරයේ වෙනත් වාහනයක ගැටීමෙන් එම වාහනයේ සිටි පුද්ගලයාට සුලු තුවාල සිදුවීම ගැන ඔහුගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඔහු ඒ අවස්ථාවේ බීමත්ව සිටි බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

සිදුවීම සම්බන්ධයෙන් තමන් සඳුදා (අප්‍රේල් 01) අධිකරණය ඉදිරියේ පෙනී සිටි බව නිවේදනයක් නිකුත් කරමින් පවසන දිමුත් කරුණාරත්න, සිය හැසිරීම ජාතික ක්‍රීඩකයෙකුට නොගැලපෙන්නක් බව පිළිගන්නා අතරම ඒ ගැන ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර එම අනතුරට පෙරාතුව බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තමන් පත් කළහොත් එම අභියෝගය භාර ගන්නා බවය.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ටෙස්ට් පිල මෙහෙය වූ ආකාරයටම, එවන් අවස්ථාවක් තමන්ට ලබාදුනහොත් හොඳින් එම කාර්ය ඉටුකිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

එක්දින සහ ටෙස්ට් තරග

දිමුත් කරුණාරත්න මෙලෙස බීබීසී සිංහල සේවය සමග සංවාදයට එක් වූයේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම සඳහා පවත්වන අන්තර් පළාත් එක්දින තරගාවලියට දිමුත් කරුණාරත්න නායකත්වය දරන නුවර කණ්ඩායමේ පුහුණුවීම් සඳහා පසුගිය සිකුරාදා (මාර්තු 29) ආර් ප්‍රේමදාස පිටියට පැමිණ සිටි අවස්ථාවේදී ය.

දැනට එක්දින නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් හෝ දිමුත් කරුණාරත්න යන අයගෙන් එක් අයකු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළට නායකත්වය ලබාදෙනු ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ලෝක කුසලාන නායකත්වය ගැන දිමුත් කරුණාරත්න පළ කළ අදහස්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නම් දැරූ ක්‍රීඩකයකු වන දිමුත් කරුණාරත්න සාමාන්‍යයෙන් එක්දින තරග සඳහා සහභාගි නොවන නිසා ලෝක කුසලානය පැවැත්වෙන කාල සිමාවේ එංගලන්ත හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබුණි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමත් සමග ලබාගත් සුවිශේෂි තරගාවලි ජයත් සමග ඔහු එක්දින ලෝක කුසලානය සඳහා සලකා බැලීමට තේරීම් කමිටුව තීරණය කළේ දැනට එක්දින කණ්ඩායමේ තිබෙන නායකත්ව අර්බුදයට එය පිළියමක් විය හැකි බවට අනුමාන කරමිනි.

"මම ගොඩක් ආස කරපු දෙයක් තමයි එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කරන්න. ගිය අවුරුද්දෙත් අවස්ථාව ලැබුණට ක්‍රීඩා කරන්න බැරිවුණා.මේ අවුරුද්දෙත් ගොඩක් ආසාවෙන් හිටියේ නමුත් රටට ක්‍රීඩා කරනවා කියන්නේ ඊට වඩා වැදගත්. ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ ඊටත් වඩා දෙයක්."

දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගාවලියක් ක්‍රීඩා කර තිබෙන්නේ මීට වසර 4කට පෙර 2015 ලෝක කුසලානයේදිය. ඔහු මේවන විට එක්දින ඉනිම් 13ක් ක්‍රීඩා කර ලබාගෙන තිබෙන්නේ ලකුණු 190ක් පමණි. මේ තත්ත්වය තුළ දිමුත් කරුණාරත්න එක්දින ක්‍රිකට් සඳහා සුදුසු ද යන්න ක්‍රීඩා ලෝලීන්ට මතුවන ප්‍රශ්නාර්ථයකි.

"මම මුලින්ම රටට ක්‍රීඩා කළේ එක්දින ක්‍රීඩකයෙක් විදිහට, නමුත් මම හොඳින් ක්‍රීඩා කරේ සිව්දින සහ ටෙස්ට් තරග එත් සමගයි මම ටෙස්ට් ක්‍රීඩකයෙක් පමණක් බවට පත්වුණේ. නමුත් දේශීය එක්දින තරගවල මම ගොඩක් වෙලාවට වැඩිම ලකුණු 5ස් දෙනා අතර හැමතිස්සෙම ඉන්නවා," දිමුත් කරුණාරත්න සඳහන් කළේය.

ලෝක කුසලානය සහ නායකත්වය ගැන තවත් පුවත්:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2018 වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න නම් කළේ ටෙස්ට් තරගවල ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි. ටෙස්ට් තරගවල දැක්වූ එම දස්කම් එක්දින තරගවලට ගෙන ඒමේ අභියෝගය ගැන බීබීසි සිංහල සේවය දිමුත් කරුණාරත්නගෙන් විමසුවේය.

"ලොකු වෙනසක් කරන්න දෙයක් නැහැ, මගේ ටෙස්ට් ලකුණු රැස්කිරීමේ වේගයත් අන්තිම අවුරුද්දේ 60%ක් විතර තිබ්බා. මන් හිතන්නේ මට කියලා කණ්ඩායමේ රාජකාරියක් තියෙයි මම ක්‍රීඩා කළොත්, එක පැත්තක් ආරක්ෂාකර ගෙන පන්දුවාර 35ක් 40ක් ක්‍රීඩා කරන එක. ජාතික කණ්ඩායමට මාව ඕන වුනොත් මගේ ජොබ් එක ඒකයි, ඉතින් ඒ සඳහා පුහුණු වෙනවා," ඔහු කියා සිටියේය.

පසුගිය වසර කිහිපය තුළ දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තරගාවලි ජයග්‍රහණ ගණනාවක් ලබාගැනීමට සමත්වුවත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට හිමිවුයේ පරාජයන් රැසකි.

එම තත්ත්වයට හේතු කවරක් දැයි විමසූ විට ඔහු පැවසුවේ "ටෙස්ට් තරගයක් ගත්තොත් අපට ඕන තරම් වෙලා තියෙනවා යම් පසුබැමකින් ඉදිරියට එන්න. නමුත් එක්දින තරගවල එහෙම කාලයක්ම නැහැ, මම දකිනවා අපේ ක්‍රීඩකයන් ඒ වෙලාවට යම් හදිස්සි වෙනවා. ඉක්මනට ගහන්න හදනවා, සැලසුම් කරලා තරගය ඇද ගෙන ගිහිල්ලා හයියෙන් පහරදෙන්න ඉන්න අයට දෙන්න ඕන, ගොඩක් විට මම දකින්නේ මුලින්ම ගහන්න ගිහිල්ල කඩුලු යන එක," යනුවෙනි.

Image copyright Getty Images

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලි ජයක් ලබන පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් වූයේ ක්‍රීඩා පරිපාලනයේ මෙන්ම කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පවා ප්‍රශ්න රැසක් තිබියදීය.

"අලුතෙන් ආපු ක්‍රීඩකයෝ හොඳටම කළා ඒවගේම ඒ මාස දෙක ඇතුළත කණ්ඩායමේ සමගිය වෙනුවෙන් අපි ගොඩක් දේවල් කළා. කණ්ඩායම එකට ඉන්නේ කොහොමද, හැමවෙලාවෙම කොහොමද හොඳට ක්‍රීඩා කරන්නේ කියලා කතාවුනා, කිසිම පීඩනයක් දැම්මේ නැහැ ක්‍රීඩකයන්ට. ඒදේවල් තමයි හොඳ තත්ත්වයකට එන්න දායකත්වය ලබාදුන්නේ කියලා මම හිතනවා" දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

ඉදිරි ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දැරීමේ අවස්ථාව ලබාදුනහොත් ඒ සඳහා ඇති සූදානම ගැන බීබීසි සිංහල සේවය යොමුකළ ප්‍රශ්නයට දිමුත් කරුණාරත්න ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

"දකුණු අප්‍රිකාවේ නායකත්වය ලැබෙනවා කියලා මම දැනගත්තේ අවසන් මොහොතේ. මම නායකත්වය කියනදේ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. නමුත් හම්බවුනොත් අභියෝගය භාරගන්න බලන් ඉන්නවා. මොකද දකුණු අප්‍රිකාවේදීත් මම දන්න විදිහට මම හොඳට කළා. මේකත් මට දුන්නොත් මම හොඳින් කරන්න බලනවා. මම දන්න දේවල් හොඳින් කරලා මට හිතෙනවා මොනවහරි දෙයක් කරන්න පුළුවන් කියලා."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර