දිල්හාර ලොකුහෙට්ටිගේ: අයිසීසීය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරඟ පාවාදීමේ චෝදනා ගොනු කරයි

Image copyright Getty Images

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව චෝදනා ගොනුකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී සංග්‍රහයේ කරුණු තුනක් කඩකිරීම සම්බන්ධයෙනි.

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ද මීට පෙර ලොකුහෙට්ටිගේට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අයිසීසී දූෂණ විරෝධී සංග්‍රහයේ පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ලොකුහෙට්ටිගේට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

2.1.1 - තරඟ පාවාදීම, ඒ සඳහා කටයුතු කිරීම හෝ ඒ සඳහා අනිසි ලෙස බලපෑම් කිරීම, එවැනි කටයුත්තක නිරත කණ්ඩායමක් සමග එකඟතා තිබීම ආදිය හරහා ජාත්‍යන්තර තරඟයක ප්‍රථිපලය හෝ එම තරඟයට බලපෑම් කෙරෙන ආකාරයට කටයුතු කිරීම.

2.1.4 - මේ හා සම්බන්ධ වන යම් අයෙක්ට ඝෘජුව හෝ වෙනත් ආකාරයකට බලපෑම් කිරීම හෝ අයිසීසී දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1.1 යන කරුණ උල්ලංඝනය කිරීමට උදව් කිරීම.

2.4.4 - අයිසීසී දූෂණ විරෝධී සංග්‍රහයේ සඳහන් කරුණු අනුව තරඟ පාවාදීම සඳහා කෙරුණු ඉල්ලීම් පිළිබඳව තොරතුරු අයිසීසී දුෂණ විරෝධී ඒකකයට ලබා නොදීම.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය ද පසුගිය නොවැම්බර් මාසයේදී ලොකුහෙට්ටිගේට එරෙහිව මේ හා සමාන චෝදනා ගොනු කළේ T10 තරඟාවලියකදී සිදුකළා යැයි පැවසෙන තරඟ පාවාදීමක් සම්බන්ධයෙනි.

ඉන්පසු අයිසීසී ය විසින් ඔහුට එරෙහිව තාවකාලික තහනමක් පනවන ලදි.

මේ සමගම පෙර පනවන ලද තාවකාලික තහනම සම්පුර්ණ තරඟ තහනමක් ලෙස බල ගැන්වෙන අතර එසේම අයිසීසී දුෂණ විරෝධී සංග්‍රහය අනුව ලොකුහෙට්ටිගේට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික තරඟ තහනමක් බල පැවැත්වේ.

එම තාවකාලික තහනම චෝදනා ගැන පරීක්ෂා කර තීරණයක් ගන්නා තුරු බල පැවැත්වෙන බව අයිසීසී ය නිවේදනය කරයි.

එසේම මෙම චෝදනා සඳහා කරුණු දැක්වීම සඳහා අප්‍රේල් 3 වනදා සිට දින 14 ක කාලයක් දිල්හාර ලොකුහෙට්ටිගේට ලැබෙන බවද අයිසීසී නිවේදනයේ සඳහන් වේ.

පසුගිය කාලය තුළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දූෂණ චෝදනා එල්ල විය.

Image caption නුවන් සොයිසා

හිටපු වේග පන්දු යවන්නෙකු සහ වේග පන්දු පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට එරෙහිව අයිසීසී ය විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ දී තරඟ පාවාදීමේ චෝදනා එල්ල කරන ලදි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඔහුට වැඩ තහනමකට පණවනු ලැබිණ.

මේ අතර පසුගිය පෙබරවාරි මාසයේදී අයිසීසී දූෂණ විරෝධී සංග්‍රහයේ කාරණා දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවිණ.

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවට අදාළව එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට සහය නොදීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය පසුගිය ඔක්තෝබර් මාසයේදී සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කළේය.

අදාළ චෝදනාවලට සනත් ජයසූරිය වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අයිසීසී ය තීරණය කළේය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර