ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස වේග පන්දු යවන ලසිත් මාලිංග පත් කරනු ලැබිණි.

මාලිංග නායකත්වයෙන් ඉවත් කළහොත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට පවා ඉඩ තිබෙන බවට හිටපු වේග පන්දු පුහුණුකරුවෙක් වූ අනුෂ සමරනායක බීබීසී සිංහල සේවයට පසුගියදා පැවසීය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය වාර්තා පළවිය.

විශේෂයෙන්ම පසුගියදා නිමවූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 5 ම පරාජයට පත්වීමෙන් පසු මාධ්‍ය මේ සම්බන්ධයෙන් නිතර කතා කරනු පෙනිණි.

ඒ සම්බන්ධයෙන් විමසු විට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පැවසුවේ එක්දින කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමේ තීරණයක් තම කමිටුව තවම ගෙන නොමැති බවය.

දිමුත් කරුණාරත්නගේ පත් කිරීම ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අනුමත කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන්නේ ද ඔහුය.

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මැයි මස 30 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතය.

ඊට සුදුසුකම් ලබා ඇති රටවල් අප්‍රේල් 23 වෙනිදාට පෙර තම කණ්ඩායම් නම් කළ යුතුය.

මේ වන විට බංගලාදේශය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තම ලෝක කුසලාන කණ්ඩායම් නම් කර අවසන්ය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර