RTI: "තොරතුරු සඟවන්න ඉඩ තියන්න එපා"

Image caption සංඛිතා ගුණරත්න

"තොරතුරු අයිතිය අපේ ම දෙයක් කරගැනීම වැදගත්. තොරතුරක් සඟවා ගැනීම තුළින් ජනතාවට තියෙන බලයක් නැති කිරීම තමයි වෙන්නේ. වරෙක රාජ්‍ය ආයතනයක සේවකයෙක් අප සමග කිව්වා මම මගේ ආයතනයේ කළු ගල් කඩන්න තොරතුරු පනත පාවිච්චි කළා කියලා."

මෙසේ බීබීසී සිංහල සේවයට පැවසුවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අංශයේ වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කරන සංඛිතා ගුණරත්නයි.

ඇය මේ බව අප හා පැවසුවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව අතර තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ගත් අලුත් පියවරක් පිළිබඳව විස්තර ලබා ගැනීමට ඇය කොළඹ දී හමු වූ අවස්ථාවේදීය.

ඇය පැවසුවේ "ජනතාව තමාට අවශ්‍ය තොරතුරුවලට අදාළ ඉල්ලුම් පත ඉදිරිපත් කළ යුත්තේ කුමන රාජ්‍ය ආයතනයට දැයි පහසුවෙන් හඳුනාගැනීම සඳහා රාජ්‍ය ආයතනවල සිතියම්කරණයක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මුලිකත්වයෙන් සිදුකර තිබෙන" බවය .

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙම කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට පර්යේෂණායතනයක් වන මාර්ගා ආයතනයේ සේවය ලබාගෙන තිබේ.

සංඛිතා ගුණරත්න පැවසුවේ, "අපි ජනතාවට සහය දක්වනවා තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමට. මෙහිදී අපි දැක්ක දෙයක් තමයි ජනතාව දන්නේ නැහැ රාජ්‍ය ආයතනවලින් කුමන රාජ්‍ය ආයතනයටද තමන්ගේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ කියලා. අප බොහෝ දෙනාට රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වය ගැන වැඩි වැටහීමක් නැහැ," යනුවෙනි.

"Mapping of Public Institutions in Sri Lanka to Facilitate Right to Information Requests" යනුවෙන් නම් කර ඇති මෙම ලේඛනයට අනුව රාජ්‍ය ආයතන ජාතික, පළාත්, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමින් බෙදා ඇති අතර ඊට අමතරව සපයන සේවාව අනුව ද රාජ්‍ය ආයතන වර්ග කර ඇත.

මේ යටතේ විවිධ ජාතික, පළාත්, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමින් රාජ්‍ය ආයතන 1500ක් පමණ ලැයිස්තු ගත කර තිබේ.

"අපි දන්නවා තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන දන්න බොහෝ අය එය පාවිච්චි කරන්න පෙළඹෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව රජයෙන් සමහර වෙලාවට ජනතාව හරිහැටි දැනුවත් කිරීමක් වෙන්නේ නැහැ. දැනට ඊට අදාළ දැනුවත්කිරීම් වැඩිවශයෙන් කරන්නේ රාජ්‍ය නොවන ආයතන," සංඛිතා ගුණරත්න පැවසීය.

"වග වීමේ මෙවලමක්"

2017 පෙබරවාරි 3 වෙනිදා සිට ක්‍රියාත්මක වන 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත "Global RTI Index" අනුව ලොව හොඳම එවැනි පනත් වලින් එකකි.

එය රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අදාළ බලධාරීන් ජනතාවට වගවීමේ මෙවලමක් ලෙස භාවිත කිරීමට සමාජය වග බලාගතයුතු බව සංඛිතා ගුණරත්න පවසයි.

"තොරතුරු පනතේ තිබෙන සාධනීය කරුණක් තමයි හැම දෙයක් ම නිශ්චිත කාල අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි තොරතුරක් දෙන්න ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළා නම් පනතේ සඳහන් කුමන කරුණු මත ද එය කරන්නේ කියලා වගේම එම හේතු සාධාරණීකරණය කිරීමටත් හේතු ලබා දෙන්න ඕනේ. පුරවැසියා කියන්න අවශ්‍ය නැහැ මට මේකටයි මේ තොරතුර අවශ්‍ය කියන එක. එසේ ප්‍රතික්ෂේප කළ හොත් පුරවැසියා දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කළ යුතුයි ඊළඟට ඉන්න නම් කළ නිලධාරියාට. එතනින් ද ප්‍රතික්ෂේප වුවගොත් තොරතුරු කොමිසමට පවා යන්න පුලුවන්."

"තොරතුරු ඉල්ලුම්පතක් වෙන ලියුමක් වගේ අත්හැරලා දාන්න එපා," යනුවෙන් ද ඇය ඉල්ලා සිටී.

"මේක ජනතාව අතර තව ප්‍රචලිත කළ යුතුයි. ඉන්දියාවේ RTI කියන දෙය අද ක්‍රියාපදයක් ලෙසත් භාවිත වෙනවා. ලංකාවේ ජනතාව තවම එතරම් දැනුවත් නැහැ. සමහරු තොරතුරු පනත ගැන අහලා ඇති. නමුත් හරියට භාවිත කරන විදිය ගැන දැනුවත් නැහැ."

සමහර අවස්ථාවල යම් පුද්ගලයෙක් ආන්දෝලනාත්මක කාරණයක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම්පතක් දැමු විට ඒ තොරතුරු හොයපු පුද්ගලයා කවුද කියලා ඉලක්ක කිරීමක් වෙනව ද කියලා සමහරු තුළ බයක් ඇතිවී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

"ඒ අවස්ථාවල අපි කියන්නේ කණ්ඩායම් ඉල්ලුම්පතක් විදියට දාන්න. නැත්නම් එකම දේ ගැන වැඩි දෙනෙක් අහන්න කියන එක."

තොරතුරු පනතට අනුව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කිසිවෙකු මේ වෙනතුරු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දෙමින් ඇය පැවසුවේ, "නියමිත කාල පරිච්ඡේද අනුව ක්‍රියාත්මක නොවූ කෙනෙක් නැතිනම් තොරතුරු වසන් කරපු නිලධාරියෙක් සම්බන්ධයෙන් එහෙම ක්‍රියාමාර්ග අරගෙන නැහැ. නමුත් තොරතුරු කොමිසමත් කියලා තියෙනවා මේ ගැන කැපවෙලා කටයුතු කරනවා කියලා."

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
තොරතුරු පනත ගැන ලාංකිකයන් දැනුවත්ද?

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සිදු කරන වැරදි සඳහා තොරතුරු කොමිසම විසින් නඩු පවරා මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් වැරදිකරුවෙකු බවට පත්වුවහොත් පහත සඳහන් දඬුවම් වලට යටත් කළ හැකිය.

•රුපියල් 50,000 ක් නොඉක්මවන දඩ මුදලක් හෝ

•අවුරුදු 2 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ

•ඉහත දඬුවම් දෙකම

සිදු කළ හැකි වැරදි:

•සිතාමතා තොරතුරු දීම අවහිර කිරීම, සාවද්‍ය, අසත්‍ය හෝ අසම්පුර්ණ තොරතුරු සැපයීම

•තොරතුරු විනාශ කිරීම, අවලංගු කිරීම, වෙනස් කිරීම හෝ වසන් කිරීම

•කැඳවීමක් ලැබුණු විට කොමිසම ඉදිරියේ පෙනී සිටීමට ප්‍රතික්ෂේප කිරීම හෝ පැහැර හැරීම

•තොරතුරු කොමිසම ඉදිරියට ගියද පරීක්ෂණයට බඳුන් කිරීමට හෝ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම

•කොමිසමේ තීරණයකට අනුකුල වීම පැහැර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම

•කොමිසමේ කාර්යන්ට බාධා කිරීම

•කොමිසම මගින් යම් තීරණයක් බලාත්මක කිරීමට තීරණය කළ විට එය බලාත්මක නොකිරීම

මේ අතර ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාව පැවසුවේ 2017 පෙබරවාරි මස සිට මේ දක්වා තොරතුරු දැනගැනීමේ අභියාචනා 1682ක් එම කොමිසමට ලැබී ඇති බවය.

ඉන් අභියාචනා 275ක් 2017දී ද 1013ක් 2018දී ද ලැබී තිබිණි. මේ වසරේදී මෙතෙක් ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව 394කි.

ඉන් අභියාචනා 979ක් සඳහා තීරණ ලබා දී තිබේ.

මේ අතර තොරතුරු නීතියේ ප්‍රගතිය "බාගයක් පිරුණු වතුර වීදුරුවක් ලෙස" හැඳින්විය හැකි බව මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවයට මීට පෙර කියා සිටියේය.

"මේ වතුර වීදුරුව ටිකෙන් ටිකෙන් ටික, බිංදුවෙන් බිංදුව තමයි පුරවගන්න ඕනේ"

"දන්නේ නැහැ අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේකෙන් පුද්ගලික හා පොදු කියන කාරණා දෙකේම ප්‍රශ්න වලට විසඳුම් සොයන්න මේ තොරතුරු නීතිය අවියක් කරගන්න පුළුවන් කියලා" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තවත් කියවන්න:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර