බෝයිං 737 මැක්ස් යානයට ගුවන යළි විවෘත වේද?

Image copyright Getty Images
Image caption බෝයිං 737 මැක්ස් (Boeing 737 Max) යානා දෙකක් අනතුරට ලක්වීමෙන් මගී ජීවිත 346 ක් විනාශ විය

බෝයිං 737 මැක්ස් (Boeing 737 Max) ගුවන් යානා සඳහා හඳුන්වාදුන් අලුත් මෘදුකාංගය අනුමත කර ගැනීම සඳහා වෙනත් ගුවන් සමාගම් සමග වැඩ කටයුතු ආරම්භ කරන බව යුරෝපා හවුලේ ප්‍රවාහන නිලධාරීහු පවසති.

එහෙත් මෙම මාදිලියේ ගුවන් යානා යළිත් ගුවන් ගමන් සඳහා යොදා ගන්නේ කවදා සිට ද? යන තීන්දුව තමන් සන්තකයේ තබා ගන්නා බවත් එම නිලධාරීහු කියා සිටිති.

බෝයිං 737 මැක්ස් යානා අනතුරු දෙකක් වාර්තා වීමෙන් අනතුරුව, එම ගුවන් යානාවන්හි භාවිතා කෙරෙන මෘදුකාංගයක් (MCAS sotfware) සම්බන්ධයෙන් මතු වූ මැසිවිලි සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු මාසයේ පටන් එම යානා භාවිතය ලෝක මට්ටමින් සම්පුර්ණයෙන්ම නතර කරනු ලැබ ඇත.

එම යානාවන්හි සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගුවන් ගමන් මෙහෙයවන්නන් අතර මතු වී ඇති මතභේද ඉදිරි කාලයෙහි තවත් අනතුරුවලට හේතු විය හැකි අතරම, එම තත්වය මගී විශ්වාශය කෙරෙහිත් හානිකර මට්ටමින් බලපෑමට ඉඩකඩ ඇති බවට ලෝකයේ ගුවන් සමාගම් මැසිවිලි පළ කරති.

මාර්තු මාසයේ පටන් බෝයිං 737 මැක්ස් යානා ගුවන්ගත නොකිරීමට යුරෝපා හවුල, චීනය සහ වෙනත් රටවල් විසින් ගන්නා ලද තීරණය ලෝක ගුවන් ගමන් මෙහෙයුම් ජාලයෙහි අසාමාන්‍ය බෙදීමකට හේතු විය.

එම යානා ගුවන්ගත නොකිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයත් පසුව තීන්දු කළේය.

බෝයිං සමාගම විසින් යෝජනා කරනු ලැබ ඇති සැලසුම් වෙනස්කම් පිළිබඳව යුරෝපා ගුවන් ගමන් ආරක්ෂණ අධිකාරිය (EASA) දැඩි අවධානයෙන් සිටින බව යුරෝපා හවුලේ ප්‍රවාහන කොමසාරිස් වයලෙටා බල්ච් (Violeta Bulc) පවසන්නීය.

Image copyright Reuters
Image caption බෝයිං යානය ඉතියෝපියාවේ දී අනතුරට ලක්වීමෙන් පසු දර්ශනයක්

'' අපි නිතරම සෙසු ගුවන් ගමන් මෙහෙයවන්නන් සමග එකමුතුව කටයුතු කරනවා. නියත ලෙසම අපි පියවර ගන්නේ එකමුතුව. ඒ කොහොම වුනත්, ඇතිවෙන ප්‍රතිපල සම්බන්ධයෙන් වෙනම පරීක්ෂා කිරීමේ අයිතිය යුරෝපා ගුවන් ගමන් ආරක්ෂණ අධිකාරිය (EASA) තබා ගන්නවා. එම පදනම මත පිහිටලා - වෙනත් ගුවන් ගමන් මෙහෙයවන්නන් සමග අපි නියතවම හවුල් වෙනවා.'' කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

බෝයිං 737 මැක්ස් යානා නැවත ගුවන්ගත කරනු ලැබීම සම්බන්ධයෙන් එකඟ වූ කාල සීමාවක් දැනට ප්‍රකාශයට පත්කොට නැත. කෙසේවුවද, ලබන අගෝස්තු මාසයට පෙර එම යානා නැවත ගුවනේ දැකීමේ ඉඩක් නොමැති බවත් පැවසෙයි.

බෝයිං අර්බුදය විසඳා ගැනීමෙහිලා තවත් කොතරම් කාලයක් බලා සිටීමට සිදුවනු ඇද්දැයි යන ප්‍රශ්නය යොමු කළ විට ඊට පිළිතුරු දුන් යුරෝපා හවුලේ ප්‍රවාහන කොමසාරිස් වයලෙටා බල්ච් මෙසේ කියා සිටියාය.

''මම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මණින් ගැටළු විසඳේවි කියල. මොකද? වැඩ පිළිවෙල සහ විශ්වාසය යළිත් සහතික කර ගනිමින් පෙරට යන්න අපට උවමනායි.''

බෝයිං 737 මැක්ස් යානාවන්හි සුරක්ෂිතභාවයට අදාළ කාරණයේ දී තමන් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් ගමන් අධිකාරිය (FAA) නොව, යුරෝපයේ ආයතන සමග කිට්ටුවෙන් වැඩ කිරීමට තමන් මනාප බව කැනඩාවේ ගුවන්ගමන් සමාගම් පසුගිය මැයි මස අවසාන සමයේ ප්‍රකාශ කර තිබුණි.

පළුදු වූ විශ්වාසය

2018 ඔක්තෝබර් මාසයේ පටන් 2019 මාර්තු මාසය දක්වා මාස හයක් ඇතුළත බෝයිං 737 මැක්ස් යානා දෙකක් අනතුරක් ලක් වීමෙන් මගී ජීවිත 346 ක් විනාශ විය.

ඉන් පළමු අනතුර 2018 ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවෙන් වාර්තා විය.

Image copyright Getty Images
Image caption බෝයිං යානා වැඩියෙන්ම පාවිච්චි කළේ චීනයේ SOUTHEAST ගුවන් සමාගම විසිනි

දෙවැන්න 2019 මාර්තු මාසයේ ඉතියෝපියාවෙන් වාර්තා වුණි.

ඒ දක්වාම ගුවන් යානයක් නිෂ්පාදනය කරන ලද රටින් නිකුත් කරන ලද පොදුවේ පිළිගත් ආරක්ෂණ සහතික ලෝකයේ ගුවන් ගමන් මෙහෙයවන්නන් විසින් පිළිගනු ලැබුණි.

ඇමෙරිකානු ගුවන් ගමන් සමාගම් කෙරෙහි බලපෑම් කරමින් බෝයිං යානා සඳහා සහතික නිකුත් කිරීමේ කාර්යයට එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් ගමන් අධිකාරිය (FAA) මැදිහත්ව ඇති බව ඉහත කී ඉන්දුනීසියානු සහ ඉතියෝපියානු ගුවන් අනතුරුවලින් පසු අනාවරණය විය.

බෝයිං ගුවන් යානාවන්ට නව මෘදුකාංග බද්ධ කරනු ලැබීම කවදා කෙලෙස සිදු කරනු ලැබේද යන්න සම්බන්ධයෙන් ලොව ගුවන් ගමන් මෙහෙයුම් සමාගම් අතර පුළුල් එකඟතාවක් තවමත් නොමැත.

මේ අතර, ගුවන් ගමන් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය (Iata) දකුණු කොරියාවේ රැස්වෙමින් ඇත.

ඉන්දුනීසියානු සහ ඉතියෝපියානු ගුවන් අනතුරුවලින් පසුව පැවැත්වෙන එම හවුලේ පුළුල් හමුව එයයි.

Image copyright Rex Features
Image caption පසුගිය මාර්තු මාසයේ පටන් 'බෝයිං 737 MAX' යානා භාවිතය ලෝක මට්ටමින් සම්පුර්ණයෙන්ම නතර කරනු ලැබ ඇත.

''ගුවන් ගමන් මෙහෙයවීමේ කණ්ඩායම් අතර මෙන්ම කර්මාන්තය තුළ සහතිකකරණ රටාවට අදාළ විශ්වාසයට හානි සිදුවෙලා තියනවා'' ගුවන් ගමන් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ (Iata) ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ඩි ජුනයික් (Alexandre de Juniac) පවසයි.

''බෝයිං සමාගම සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් ගමන් අධිකාරිය (FAA) මේ ප්‍රශ්නයේ ප්‍රමුඛ වෙන අතරවාරයේ ලොව පුරා තරඟකාරී නිෂ්පාදන සමාගම් සහ ගුවන් ගමන් බලධාරී ආයතන අතර ඉතාම කිට්ටු සුසංයෝගයක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා'' ගුවන් ගමන් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ (Iata) ප්‍රධානියා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර