ක්‍රීඩාවේ ජීව ගුණය රැකගත් ඉන්දීය නායක කෝලි, ගිල්ක්‍රිස්ට් සහ ඇන්ඩෲ ස්ට්‍රෞස්

Image copyright Getty Images

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටින්නේ දක්ෂ පිතිකරුවෙකු වශයෙනි.

ඔහු ක්‍රීඩාවේ මහත්මා ගතිය සහ ජීව ගුණය (Sportsmanship) රැක ගැනීමට ගන්නා උත්සහය පිළිබිඹු වන සිදුවීමක් ඉරිදා (ජුනි 09) නිමා වූ ඉන්දීය - ඔස්ට්‍රේලියා ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී දක්නට ලැබිණි.

ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටින විට හිටපු ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් හතර සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියේය.

එහිදී ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඔහුට හූ කියමින් උසුළු විසුළු කරන්නට විය.

ඒ අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටියේ කෝලිය. ඔහු ඉන්දීය ක්‍රීඩා ලෝලීන් කරමින් සිටි දේ නොරිස්සීය.

ඔවුන් වෙත ඇවිද ගිය කෝලි, හිටපු ඔස්ට්‍රේලියානු නායකයාට අත්පුඩි ගසා ඔහු ධෛර්යවත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මීට ඉහතදී දකුණු අප්‍රිකාවේ නිව්ලන්ඩ් ක්‍රීඩා පිටියේ පැවති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුව පළුදු කළේ යැයි චෝදනා එල්ල වුණු අතර ඉන්පසු ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්හට වසරක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුණි.

එම සිදුවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නිරතුරුව ම ක්‍රීඩා ලෝලීන්ගේ උසුළු විසුළුවලට ලක්වේ.

ඉරිදා (ජුනි 09) පැවති තරගයෙන් අනතුරුව කෝලි පැවසුවේ, "වුණු දේ වෙලා ඉවරයි. සියලු දෙනා එය දන්නවා. දැන් ඔහු නැවත ක්‍රීඩා කරනවා. ඒ ආකාරයට යමෙකුට සැලකීම සුදුසු නැහැ," යනුවෙනි.

ක්‍රිකට් ලෝලීන් සමාජ මාධ්‍ය හරහා කෝලිගේ ක්‍රියාව අනුමත කරමින් සහ එය අගය කරමින් සටහන් දක්වා තිබුණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ඉස්මතු වූ අවස්ථා කිහිපයක් පහත දැක්වේ:

2003 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය:

2003 ලෝක කුසලාන තරගාවලියේ අවසාන පූර්ව තරගය පැවැත්වූයේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරය.

එම තරගය දකුණු අප්‍රිකාවේ පෝර්ට් එළිසබෙත් ක්‍රීඩා පිටියේ පැවැත්විණ.

ඔස්ට්‍රේලියානු මුළු ලකුණු සංඛ්‍යාව 34ක් තිබියදී ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් එල්ල කළ පහරක් පා ආවරණයේ වැදී උඩ පන්දුවක් ලෙස කඩුලු රකිමින් සිටි කුමාර් සංගක්කාර රැක ගත්තේය.

පන්දු යවමින් සිටියේ අරවින්ද ද සිල්වාය.

නමුත් විනිසුරු එය දැවී යාමක් ලෙස නම් කරන බවක් නොපෙනුණි.

එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් ගිල්ක්‍රිස්ට් ක්‍රීඩා පිටියෙන් ඉවත් විය.

2009 සැප්තැම්බර්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ජොහැන්නස්බර්ග් නුවර පැවති චැම්පියන්ස් කුසලාන තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ග්‍රැහැම් අනියන්ස්ගේ ඇඟේ වැදීම නිසා දුවද්දී දැවී ගියේය.

ඒ අවස්ථාවේ මැතිව්ස් ලකුණු 51ක් ලබා සිටියේය. මැතිව්ස් තමා දැවී ගිය ආකාරය ගැන නොසතුට පළ කරමින් පිටියෙන් ඉවත් විණි.

නමුත් එංගලන්ත නායකයා ලෙස කටයුතු කළ ඇන්ඩෲ ස්ට්‍රෞස් මැතිව්ස් නැවත කැඳවීය.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර එංගලන්ත කණ්ඩායමේ තීරණය ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීමට ඉතා වැදගත් වන බව පැවසීය.

2011 ජූලි - ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය

මෙම තරගාවලියේ තෙවන තරගය එංගලන්තයේ ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩා පිටියේ පැවැත්විණි.

තරගයේ තෙවන දිනයේ තේ පානයට තරගය නතර කිරීමට සූදානම් වන අවස්ථාවේදී විනිසුරුවරයා එය සංඥා කිරීමට පෙර ඉයන් බෙල් පිතිකරු සීමාවෙන් ඉවතට ගියා යැයි පවසමින් ඉන්දීය ක්‍රීඩකයෝ ඉයන් බෙල්ගේ විකට්ටුව බිඳ හෙළීය.

ඉන්පසු ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු බවට නම් කරන ලෙස ඉල්ලීමක් කළ අතර තෙවන විනිසුරු ඉයන් බෙල් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේය.

නමුත් තේ පානය අතරතුරදී ඉන්දීය කණ්ඩායමේ නායක එම් එස් ධෝනි හමුවූ එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්‍රෞස් සහ ඇන්ඩි ෆ්ලවර් එම ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලීමක් කළහ.

ඊට එකඟ වූ ධෝනි නැවත ඉයන් බෙල් හට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමට එකඟ වූණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර