ලෝක ක්‍රිකට් කුසලානයේ තණතීරු සහ 'අඩු සැළකිලි' ගැන ICC යෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිචාර

Image copyright SLC

ජගත් ක්‍රිකට් කුසලානය ඇතුළු තමන් මෙහෙයවන සියලු ක්‍රිකට් ශූරතාවලි සඳහා තණතීරු භාරකරුවන් සමඟ ක්‍රියාකිරීමට ස්වාධීන තණතීරු උපදේශකයන් යොදවන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එබැවින් ලෝක ශූරතාවලිය සඳහා යොදාගන්නා තණතීරු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් අයිසීසී ය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

අයිසීසී මාධ්‍ය ඒකකයේ ජේමි ෆොක්ස් ඒ බව සඳහන් කළේ ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසාධාරණකම් සිදු වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය කළ පැමිණිල්ල ගැන ප්‍රතිචාර දක්වමිනි.

තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසාධාරණකම් සිදු වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත (ICC) පැමිණිලි කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් බීබීසී සිංහල සේවයට පැවසුවේ කරුණු ගණනාවක් උඩ මෙම පැමිණිල්ල සිදුකළ බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් ලබාදී තිබු තණතීරු, වේග පන්දුයවනන්ට වාසිදායක තණකොළ සහිත තණතීරු වූ අතර අනිකුත් කණ්ඩයාම්වලට පිතිකරුවන්ට වාසිදායක තණතීරු ලබාදී තිබූ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය චෝදනා කරයි.

"ඕවල් ඕස්ට්‍රේලියා තරගයටත් අපිට ලබාදීලා තියෙන්නේ තණකොළ සහිත විකට්ටුවක්. අනිත් කණ්ඩායම් වලට දුන්නේ දුඹුරු විකට්ටුවක්. මේක අසාධාරණයි. අපි මේ ගැන ICC එකට කිව්වා" අසන්ත ද මෙල් කියා සිටියේය.

තණකොළ සහිත විකට්ටු ලබාදෙන්නේ නම් සියළු කණ්ඩායම් වලට සමව ලබා දිය යුතු බව පවසන අසන්ත ද මෙල් ශ්‍රී ලංකාවට පමණක් එවැනි විකට්ටු ලබාදෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අදහස් පළ වී තිබුණි.

තණතීරුවලට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන පහසුකම්ද අනිත් කණ්ඩායම් සමග සැසඳීමේදී ඉතා අඩු මට්ටමක පවතින බව ද බව අසන්ත ද මෙල් පවසයි.

"අපිට බ්‍රිස්ටල් වල දීපු හෝටලේ පිහිනුම් තටාකයක් වත් නැහැ. වේගපන්දු යවන්නන් පුහුණුවීම් වලින් පස්සේ පිහිණුම් තටාකයට යන්න ඕනේ. අනිත් කණ්ඩායම් හිටපු හෝටලේ ඒ පහසුකම් තිබුණා. මේ වගේ කරුණු 7ක් ගැන අපි අපේ විරෝධය සඳහන් කළා" කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේය.

ලෝක කුසලානයට තරඟ වැදී සිටින අනෙක් කණ්ඩායම් ප්‍රවාහනය සඳහා විශාල බස්රථ ලබාදී තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන්නේ කුඩා බස් රථයක් බව පැවසූ ඔහු එහි ශ්‍රී ලංකා කණ්ඩායම හිරවී ගමන් කිරීමට සිදුවී ඇති බව පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් පවා හෝටල් තුළ අස්ථානගතවී තිබෙන බව පැවසූ කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේ, ලෝක කුසලානය වැනි තරඟාවලියකදී ලබාදී තිබෙන මෙවැනි අඩු සැළකිලි ගැන තම විරෝධය පළකරන බවය.

ජගත් කුසලානය සඳහා සැලසුම් කළ ගතවගිය සිව් වසර ඇතුළත සියලුම කණ්ඩායම් සමග සමීපව කටයුතු කළ බව එයට ප්‍රතිචාර වශයෙන් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි අයිසීසී මාධ්‍ය ඒකකයේ ජේමි ෆොක්ස්, ඒ අතරවාරයේ මතු නොවූ කිසියම් ගැටලුවක් වේ නම් එය විසඳීම පිණිස ඉදිරියටත් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිකුරාදා (ජුනි 14) රාත්‍රියේ එංගලන්තයට පැමිණ කණ්ඩායමට එක්වන බවද අසන්ත ද මෙල් කියා සිටියේය.

තවත් කියවන්න: