ලෝක කුසලාන ක්‍රිකට්: රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'

Image copyright Getty Images

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙස එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන් ලෝක වාර්තා අතරට එක්විය.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව හයේ පහර 17ක් එල්ල කරමින් ඉයන් මෝගන් ලකුණු 148ක් ලබාගැනීමට සමත්විය. ඒ අනුව මෙතෙක් එක් ඉනිමක හයේ පහර 16ක් එල්ලකරමින් ඉන්දියාවේ රෝහිත් ශර්මා, දකුණු අප්‍රිකාවේ ඒ බී ඩිවිලියස් හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් සතුවූ වාර්තා බිඳ වැටුණි.

මේ වසර මුල නවසීලන්තයට එරෙහිව හයේ පහර 13 ක් එල්ල කරමින් තිසර පෙරේරා වැඩිම හයේ පහර එල්ල කළ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියයි.

එක් ඉනිමක හයේ පහර 10කට වඩා පළමුවෙන්ම එල්ලකළ ක්‍රීඩකයා ලෙස 1996දී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය වාර්තා අතරට එක වූ අතර, හයේ පහර 11ක් එල්ලකරමින් ඔහු තැබූ වාර්තාව 2008 වසර දක්වා ලෝක වාර්තාව ලෙස නොබිඳී පැවතිනි.

අඟහරුවාදා (18) එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති ලෝක කුසලාන මූලික වටයේ තරඟයේදී එංගලන්ත නායකයා ලෝකයේ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු ලෙස සළකන ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන්ට දැඩි පිති ප්‍රහාරයක් එල්ල කළේය.

රෂීඩ් ඛාන් පන්දුවාර 9යකදී ලකුණු 110ක් ලබාදී මෙතෙක් දඟ පන්දුයවන්නේකු එක්දින ක්‍රිකට් තරඟයක ලබාදී තිබුණු වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන අමිහිරි වාර්තාව සිය නම ඉදිරියේ සඳහන් කර ගත්තේය.

Image copyright Getty Images

මෙතෙක් එම අමිහිරි වාර්තාව සටහන් වූයේ ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ගේ නමිනි. 2006 වසරේදී ඔස්ට්‍රේලියාව මුරලිදරන්ගෙන් පන්දුවාර 10ට ලබාගත් ලකුණු 99 එම වාර්තාවය.

රෂීඩ් ඛාන් ලබාදුන් ලකුණු ප්‍රමාණය ලෝක කුසලාන වාර්තාවක් ද වන අතර ඔහුට එල්ල වූ හයේ පහර 11, එක් තරඟයක පන්දුයවන්නෙකුට එල්ල වූ වැඩිම හයේ පහර ප්‍රමාණය ද වේ.

මීට අමතරව එංගලන්තය තරඟයේ නියමිත පන්දුවාර 50දී හයේ පහරවල් 25ක් එල්ල කර තිබූ අතර එය ද ලෝක වාර්තාවක් විය.

එංගලන්තය පසුගිය 2015 සහ 2011 සමස්ත ලෝක කුසලාන තරගාවලි දෙකේදීම එල්ල කර තිබුනේ හයේ පහර 28ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා (ජුනි 21) එංගලන්තය සමග තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අවසන් වරට පැවති එක්දින තරගාවලිය එංගලන්තය පහසුවෙන් ජයගත්තත් දෙරට අතර පැවති අවසන් එක්දින තරගය ලකුණු 219කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 366ට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 132කට දවාගනිමිනි.

තවත් කියවන්න: