ක්‍රිකට් ලෝක කුසලානය: "ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මන්දගාමී ලකුණු රැස්කිරීම ගැටලුවක්"

Image copyright Sri Lanka Cricket

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්තයේ චෙස්ටර්-ලී-ස්ට්‍රීට් ක්‍රීඩාංගණයෙහිදී සඳුදා (ජුලි 01) පැවැත්වේ.

දකුණු අප්‍රිකාව සමග සිකුරාදා තරගයේ අත්වූ පරාජයත් සමග මෙම තරඟයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා දින දීර්ඝ පුහුණු සැසියක නිරත විය.

පිතිකරුවන් වේගවත් පහරවල් එල්ල කරමින් පුහුණු වන ආකාරය එහිදී දක්නට ලැබුණි.

දකුණු අප්‍රිකානු තරඟයේ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ක්‍රීඩා කළ මන්දගාමී අකාරය ගැන දැඩි විවේචන එල්ල විය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 183ක් ලකුණු ලබා නොගත් පන්දු ලෙස සටහන් වී තිබුණි.

කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනන්ජය ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් ලකුණු 76ක් ලබාගැනීමට පන්දු 167ක් වැය කර තිබුණි.

කුසල් මෙන්ඩිස් - ලකුණු 23යි පන්දු 51.

ඇන්ජලෝ මැතිව්ස් - ලකුණු 11යි පන්දු 29.

ධනන්ජය ද සිල්වා - ලකුණු 24යි පන්දු 41.

ජීවන් මෙන්ඩිස් - ලකුණු 18යි පන්දු 46.

"මැදපෙළ පිතිකරුවන්ගේ මන්දගාමී ලකුණු රැස්කිරීම ගැටලුවක්. ඒගොල්ලෝ නිලකුණු පන්දු වැඩියෙන් ගැසීමෙන් අනිත් කණ්ඩායමට ඉදිරියට එන්න වැඩි අවස්ථාවක් දෙනවා," යනුවෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

අසන්ත ද මෙල් කියා සිටියේ, "මම නම් හිතන්නේ අපි තව පිතිකරුවෙක් එක්ක ගියොත් මැදපෙළ පිතිකරුවන්ට තව නිදහසක් හම්බවෙයි ඉක්මනින් ලකුණු රැස්කරන්න" ලහිරු තිරිමාන්න හෝ මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට ඇතුළත් කර පිතිකරණ අංශය තවත් ශක්තිමත් කළ යුතු," බවය.

ජීවන් මෙන්ඩිස් සහ ධනන්ජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් වී සිටින්නේ ප්‍රධාන වශයෙන් පන්දු යවන්නන් ලෙස මිස පිතිකරණයට නොවන බව පවසන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඔවුන්ගෙන් පිතිකරුවන්ගේ රාජකාරිය බලාපොරොත්තු විය නොහැකි බව කියා සිටියේය.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වෙනුවට කණ්ඩායමට ඇතුළත් කළ කසුන් රාජිත බොහෝදුරට බටහිර ඉන්දීය කොදෙව් සමග තිබෙන තරඟයට සහභාගිවීමට ඉඩ තිබෙන බවට වාර්තාවේ.

එම නිසා සුරංග ලක්මාල්ට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

Image copyright Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ශ්‍රී ලංකාව, වසර 3කට ආසන්න කාලයක් එක්දින තරගයක් ක්‍රීඩා කර නොමැති අතර දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරඟය එක් ලකුණකින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිවල දී ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 6ක් පවත්වා තිබෙන අතර එහි දී ශ්‍රී ලංකාව තරග 2ක් පමණක් ජයගෙන තිබේ.

2003 හා 2007 වසර වලදී ශ්‍රී ලංකාව එම ජයග්‍රහණ වාර්තා කළ අතර ඉන්පසු දෙරට ලෝක කුසලාන තරඟාවලියන්හීදී හමු වී නොමැත.

තවත් තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර