ක්‍රිකට්: රොෂාන් - සිදත් - අරවින්ද - මහේල - සංගක්කාර යෝජනා මොනවා ද?

Image copyright Sl cricket
Image caption ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ප්‍රබල ක්‍රීඩකයන් හඬක් නගන්නේ කලක සිටය.

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුනිගේ අදහස් හා යෝජනා අනුව සකස් කරන ලද 'ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය' අඟහරුවාදා (ජූලි 23) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාර දෙනු ලැබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපානය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ප්‍රබල ක්‍රීඩකයන් හඬක් නගන්නේ කලක සිටය.

වසර ගණනාවක් තිස්සේ ඔවුන් මේ පිළිබඳව විවිධ යෝජනා ඉදිරිපත් කළත් ඒවා මේ දක්වා ක්‍රියාවට පරිවර්තනය නොකෙරුණි.

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන 2017 වසරේ නැවත ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවකට සහභාගී වෙමින් 'තමන් මෙවැනි දෙයකට සම්බන්ධ වන අවසන් අවස්ථාව එය' බව කියා සිටියේය

මේ මගේ අවසාන උත්සාහය - මහේල

මහේල ජයවර්ධන එලෙස කියා සිටියේ, ඔහු එතෙක් ඉදිරිපත් කළ කිසිදු සැළස්මක් ක්‍රීඩා බලධාරීන් විසින් සැලකිල්ලට නොගැනීම හේතුවෙනි.

කුණු කූඩයට ගිය මහේලගේ ක්‍රිකට් සැලසුම

ඇමති ඉල්ලීමට සංගා, මුරලි, මහේල, රොෂාන්, අරවින්ද ප්‍රතිචාරය

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු එම පදවියට පත්කරනු ලැබීමෙන් අනතුරුව, ඇමතිවරයා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නැවතත් යෝජනා ලබාගත් අතර, ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙන ලද්දේ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලියකි.

එසේ ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවට හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් වන රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුනි ඇතුළු හිටපු ක්‍රීඩකයන් පිරිසක් සකස් කළ වාර්තාවක් ද, හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත් කරන ලද මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර සහ අරවින්ද ද සිල්වා ඇතුළත් කමිටුවේ ක්‍රිකට් ප්‍රතිව්‍යුහගතකිරීමේ සැළැස්මක් ද ඇතුළත් වෙයි.

Image caption ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට යෝජනා බාර දෙමින්

එකී යෝජනාවලිය පාර්ලිමේන්තුව තුළ විවාද කර පාර්ලිමේන්තු බහුතරයේ කැමැත්ත මත එය නීතිගත කිරීම තම අරමුණ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ක්‍රිකට් නව ව්‍යවස්ථාවට ඇතුළත් යෝජනා මොනවාද ?

රොෂාන් මහානාම හා සිදත් වෙත්තමුනි ඇතුළු හිටපු ක්‍රීඩකයන් සකස් කළ යෝජනාවලිය ඔවුන් විසින් නම් කරනු ලැබ ඇත්තේ "ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා සංකල්ප ප්‍රකාශය" යනුවෙනි.

ක්‍රීඩා සමාජ 85 ක් සතු ඡන්ද 147ක් හරහා පාලනය වන ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් පරිපාලන ව්‍යුහය වෙනස් කළ යුතු බවට රොෂාන් මහානාම හා සිදත් වෙත්තමුනි ඔවුන්ගේ යෝජනාවෙන් පෙන්වා දෙයි.

මෙම ඡන්ද 147 ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයේ දී බලපෑම් කිරීම සඳහා ඉලක්ක වන බව පෙන්වාදෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ එම ක්‍රමය නිසා ක්‍රිකට් දියුණු කිරීමට සුදුසුම පුද්ගලයන් වෙනුවට වෙනත් අය පත්වන බවත් කියා සිටියි.

ඡන්ද ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල අවශ්‍යතාවයක් ඇතිබව පවසන හිටපු ක්‍රිකට් ක්‍රීඩා දැවන්තයෝ 'තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත සාමාජිකයන්ට පමණක් ඡන්ද අයිතිය හිමිවන ලෙස' ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය ක්‍රිකට්වලට දක්වා ඇති දායකත්වය මත තීරණය කිරීම සිදුකළ යුතු බව පවසති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ඡන්ද ක්‍රමය සහ ව්‍යුහය අනුව ඕනෑම අවස්ථාවක ඡන්ද හිමි සාමජිකයින් 147 ක් සිටියත්, පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය සමන්විත වන්නේ ඡන්ද හිමි සමාජික සංඛ්‍යාව 17 ක් දෙනෙකුගෙනි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්ද හිමි සාමාජික සංඛාව 18 කි,

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 42 ක් වන අතර, 'ක්‍රිකට් ඔස්ට්‍රේලියා' හි එය 22 ක් පමණක් බව සිය වාර්තාවෙන් හිටපු ක්‍රීඩකයන් විසින් පෙන්වාදී තිබේ.

හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා අරවින්ද ද සිල්වා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉහළ මණ්ඩලයක් (APEX Council) මගින් සිදුවිය යුතු බව යෝජනා කර තිබේ.

Image caption යෝජිත ක්‍රිකට් ව්‍යුහය

මෙම ඉහළ මණ්ඩලය පාර්ලිමේන්තුව විසින් සංස්ථාගත කර, එහි මූලික සාමාජිකයින් පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබීම හෝ ඒ සඳහා පත් කරන පුදගලයන්ගේ නිර්ණායක තීරණය කරනු ලැබීම සිදු කළ යුතු බව එහි සඳහන් වේ. දැනට ක්‍රිකට් පරිපාලනය හා සම්බන්ධ නොවූ ස්වාධීන පුද්ගලයන් පස් දෙනෙකු එම කමිටුවට පත්කළ යුතු බවත් එම යෝජනාවේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ කටයුතු අධික්ෂණය කිරීම, විධායක කමිටුව මඟින් යෝජනා කරන ලද නව ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා අනුමැතිය දීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පහත තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම මෙම ඉහළ කමිටුවේ කාර්යභාරය විය යුතු බවත් එහි සඳහන් වේ.

ප්‍රධාන විධායක නිලධාරී (CEO)

ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO)

ප්‍රධාන අලෙවි නිලධාරරී (CMO)

ප්‍රධාන නීති නිලධාරී (CLO)

COO (ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී /අධ්‍යක්ෂ ක්‍රිකට්)

ආචර්ධර්ම, විනය හා දුෂණ මැඩලීමේ කමිටු

ක්‍රිකට් කමිටුව

මීට අමතරව ජන්දයෙන් පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවක් සහ ක්‍රිකට් තීරණ ගැනීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ක්‍රිකට් කමිටුවක් පත් කිරීමටද මහේල -සංගකකාර -අරවින්ද කමිටුව යෝජනා කොට තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු, එක් හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ හිටපු විනිසුරුවරයෙක් හෝ තරග තීරකවරයෙක් ඇතුළත් ක්‍රිකට් කමිටුව මගින් ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් ප්‍රතිපත්ති හා ව්‍යුහ පවත්වා ගැනීම සම්බන්ධයෙන් වගකීම් දැරීම, තේරීම් නිලධාරීන් සම්බන්ධයෙන් අවසන් අනුමැතිය දීම ( ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව) සහ පුහුණුකරුවන් පිළිබඳ අවසාන අනුමැතිය ( ජාත්‍යන්තර සහ දේශීය) දීම සිදුකළ යුතු බවත් ඔවුහු වැඩි දුරටත් යෝජනා කරති.

කියවන්න;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර