ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු පුහුණුකරුවන් රැසක් අර්බුදයක

Image copyright Getty Images

එංගලන්තය පළමු වරට ලෝක ශූරයින් බවට පත් කරමින් අවසන් වූ 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු රටවල් රැසක පුහුණුකරුවන්ට බලපෑම් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ඉන් එක් අයකු ලෙස හැඳින්විය හැක.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන්නෙකු වන රුමේෂ් රත්නායක පත් කරනු ලැබ ඇත්තේ එවැනි පසුබිමකදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට නොයෑම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහට ද ඇඟිල්ල දිගු වූ අතර ලෝක කුසලාන තරගාවලියේදී අසාර්ථක වීමත් සමග එම තත්ත්වය තවත් වර්ධනය විය.

බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුවේ, චන්දික හතුරුසිංහ සමග ඇති කර ගත් ගිවිසුම පිළිබඳව යළි සලකා බැලීමක් කරන ලෙස තමන් ඉල්ලා සිටි බවය.

Image copyright Harin Fernando/Facebook

"ක්‍රීඩකයින්ට කියනවා නම් තරග දිනපු විදිහට 50ක් ගහපු විදිහට පඩි ගෙවනවා කියලා, ඒ වගේ ම පුහුණුකරුටත් කළ යුතුයි කියන එකයි මම කියන්නේ. ඩොලර් හතලිස් දාහක් අනිත් අමතර දේවල් නැතුව, ගෙවනවා නම් මේ හතලිස් දාහක්. කවුරුහරි ගන්නවා නම් පන් දාහක්, දහ දාහක්. එතකොට කවුද වග කියන්නේ? එහෙම වෙන්නත් බැරි නෑනේ. ඒක පරීක්ෂා කරන එක වැරදි ද?" ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

චන්දික හතුරුසිංහ සමග ක්‍රිකට් ආයතනය ඇති කර ගත් ගිවිසුම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

"චන්දික හතුරුසිංහ යනවා නම් එතුමා ගෙවන්න ඕනෙ මාස තුනක පඩි. එයාව අපි යවනවා නම් අවුරුද්දක පඩි ගෙවන්න ඕනෙ. පුදුම ඇග්‍රිමන්ට් ගැහිල්ලක් නේ මේක. ඇග්‍රිමන්ට් එක ගහපු කෙනාට කවුද දුන්නේ අවසර? ඒක කොහොම ද කළේ? දැන් මේ මේක සම්බන්ධයෙන් වැඩියෙන් අඬන්නේ කවුද? එතකොට තේරෙනවා ඇග්‍රිමන්ට් එක ගැහුවේ කවුද කියලා."

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා බදාදා (අගෝස්තු 07) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, වසර එක හමාරක කාලයක් පුහුණුකරුගේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹි බවය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවල හැසිරීම පිළිබඳව ද ඔහු සඳහන් කළේය.

"වැඩියෙන් ම චන්දික හතුරුසිංහ ගන්න කිව්වෙ ඕගොල්ලෝ. දැන් චන්දික හතුරුසිංහව එලවන්න කියන්නෙත් ඕගොල්ලො. අපි කාවවත් මීඩියා එක කියන හින්දා එලවන්නේ නැහැ. අපි ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් බලලා, අවුරුදු එක හමාරකට වැඩිය කෝච්ගේ පර්ෆෝමන්ස් බලලා තමයි අපි මේ තීරණය අරන් තියෙන්නේ."

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දින 14ක කාලයක් චන්දික හතුරුසිංහට ලබා දී ඇතැයි සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන අමාත්‍ය අර්ජුණ රණතුංග පැවසුවේ, පුහුණුකරු ඉවත් කිරීම "තුවාලයට පිළියම" නොවන බවය.

Image copyright Arjauna Ranatunga/Facebook

බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

"මේකට වැඩිපුර පරිපාලනය වගකීමක් ගන්න ඕනෙ. ක්‍රීඩකයොත් වගකීමක් ගන්න ඕනෙ. පුහුණුකරුවොත් වගකීමක් ගන්න ඕනෙ. මේ හැම දෙනා ම වගකීමක් ගන්න ඕනෙ. එහෙම නැතුව පුහුණුකරුට විතරක් ඇඟිල්ල දික් කරන එකත් එයාව අයින් කරන එකත් අර තුවාලෙට පිළියම නෙවෙයි."

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය චන්දික හතුරුසිංහගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මේ අවස්ථාවේ ප්‍රතිචාර දැක්වීමට අකමැති බවය.

චන්දික හතුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කරගෙන ඇති ගිවිසුම අනුව පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඔහුට වසරක වැටුප් මුදල් වන්දියක් ලෙස ගෙවිය යුතුය.

නව පුහුණුකරුවෙක්?

Image copyright Getty Images
Image caption රුමේෂ් රත්නායක 2017 අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා "ලොව විශිෂ්ට පුහුණුකරුවන්" කිහිප දෙනෙකු ම අයැදුම් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

ඔහු සඳහන් කළේ, ඔවුන් සියලු දෙනා චන්දික හතුරුසිංහට ගෙවනු ලබන වැටුපට වඩා අඩක් පමණ අපේක්ෂා කරන බවය.

මේ වන විට හිටපු වේග පන්දු යවන්නෙකු වූ රුමේෂ් රත්නායක නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පුහුණුකරු තනතුරට පත් කර ඇති අතර, ඔහු 2017 අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු තනතුර දැරූ අතර ඔහුගේ සේවා කාලය තුළ බංග්ලාදේශ කණ්ඩායම සාර්ථකත්වයට පත්වූ බවට ප්‍රශංසා පළ විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඔහුට අවස්ථාව හිමි වූයේ, එම තත්ත්වය මතය. 2017 නොවැම්බර් මාසයේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය ඇරඹීය.

රටවල් රැසක පුහුණුකරුවන් ඉවතට

Image copyright Getty Images

මේ අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව රටවල් රැසක පුහුණුකරුවන්ට සිය කාර්ය සාධනය සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබේ.

පකිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව යන කණ්ඩායම්වල පුහුණුකරුවෝ එලෙස අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටිති.

  • පකිස්තානය:

පාකිස්තානයේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු සෙසු පුහුණුකරුවන් සමග ඇති කර ගත් ගිවිසුම් අලුත් නොකරන බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව, පන්දු යවන්නන්ගේ පුහුණුකරු අසාර් මහ්මූද්ට මෙන් ම පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට ද එම තනතුරුවලින් ඉවත් වීමට සිදුව තිබේ.

  • දකුණු අප්‍රිකාව:

දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඔටිස් ගිබ්සන් ද එම තනතුරෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය උද්ගත වූයේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙනි.

ඔවුන් එම තරගාවලියේදී ක්‍රීඩා කළ තරග 9න් ජයග්‍රහණය කළේ තරග 3ක් පමණි.

  • බංග්ලාදේශය:

මේ අතර, බංග්ලාදේශ පුහුණුකරු ස්ටීව් රෝඩ්ස් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

බංග්ලාදේශය ද ක්‍රීඩා කළ තරග 9න් තරග 3ක් පමණක් ජය ගත් අතර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් 10ක් අතරින් ඔවුන්ට හිමි වූයේ, 8 වන ස්ථානයයි.

2018 වසරේ ජූනි මාසයේදී ඔහු බංග්ලාදේශ පුහුණුකරු තනතුරට පත්වූ අතර 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දු වාර 20 තරගාවලිය දක්වා පුහුණුකරු තනතුර දැරීමට ගිවිසුම් අත්සන් කර තිබිණි.

Image copyright Getty Images
Image caption ස්ටීව් රෝඩ්ස්
  • ඉන්දියාව:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් ද යළි සලකා බැලීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වේ.

ඉන්දියාවේ නව ක්‍රිකට් පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පිළිබඳව ද ඉන්දීය මාධ්‍යවල නිරන්තරයෙන් සඳහන් වෙයි.

ඔහු පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

  • එංගලන්තය:

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ක්‍රිකට් ශූරතාව හිමි කර ගත් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් ද සැප්තැම්බර් මාසයේ සිය ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ, 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමේ අරමුණෙනි.

තවදුරටත් කියවන්න.