ශ්‍රී ලංකාව තරග වදින ලෝක ටෙස්ට් ශූරතාව ගැන කරුණු හතරක්

Image copyright Getty Images
Image caption ටෙස්ට් තරග ජයක් සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය බදාදා (අගෝස්තු 14) ආරම්භ වේ.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රථම වරට පවත්වන ලෝක ශුරතා තරගාවලිය, වසර දෙකක් පුරා පැවැත්වෙනු ඇත. තරගාවලිය අවසන් වන්නේ ලෝක ටෙස්ට් ශුරයන් තේරීම සඳහා අවසන් මහා තරගයක් 2021 වසරේ පැවැත්වීමෙන් අනතුරුවය.

ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින රටවල් 9ක් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව ටෙස්ට් වරම් ලබා ඇති රටවලින් ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය තරගාවලියට සහභාගී වෙති.

සිම්බාබ්වේ කණ්ඩායම සහ පසුගිය වසරේ ටෙස්ට් වරම් ලැබූ ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය ටන රටවලට ලෝක ටෙස්ට් ශුරතාවට සහභාගී වීමට අවස්ථාව හිමිව නොමැත. ඔවුන්ට සාමාන්‍ය ලෙස ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට හැකි වුවත් ඔවුන් සමග ක්‍රීඩා කරන තරග ලෝක ටෙස්ට් ශුරතාවේ ලකුණු සටහන් සඳහා අදාළ වන්නේ නැත.

01. මෙවැනි තරගාවලියක් ඇයි ?

ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නව ජවයක් ලබාදීම මෙම තරගාවලිය අරමුණ වී තිබේ. විශේෂයෙන්ම දෙරටක් අතර පැවැත්වෙන සැම ටෙස්ට් තරගයක්ම, තරගාවලියක්ම යම් අරුතක් එක් කර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් තරගකාරී කිරීමේ අවශ්‍යතාව ගැන 2000 වසරේ පමණ සිට කතාබහට ලක්වූ නමුත් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීන්ට නොහැකි විය.

ඊට හේතුවුයේ සෑම රටක්ම එක සමාන ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම මුල්‍යම වශයෙන් සාර්ථක ක්‍රමයක් නොවීමය. උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා ඉන්දියාව සම්බන්ධ වන ටෙස්ට් තරගාවලි මුල්‍යම වශයෙන් ලාහ ලැබුවත් අනිකුත් රටවල් සහභාගිවන ටෙස්ට් තරග පවත්වාගෙන යන්නේ ඉතා අපහසුවෙනි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පවා පැවැත්වෙන ඇතැම් තරගාවලිවල ටෙස්ට් තරග 2ක් පමණක් ඇතුළත් වන්නේ මුල්‍යම හේතුන් මත වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම අපහසුවීම නිසාය.

මීට අමතරව ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා ඉන්දියාව තමන් අතර පැවත්වෙන තරගාවලිවලට සාමාන්‍යයෙන් ටෙස්ට් තරග 4 ක් හෝ 5 ක් ඇතුළත් කරන අතර ඒවා අඩු කිරීමට ඔවුන් විරෝධය දැක්වීමත් ලෝක ටෙස්ට් ශුරතාව කල් යාමට හේතුවිය.

වර්තමාන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතා තරගාවලිය සියළු රටවල අනුමැතිය ඇතිව හඳුන්වා දී තිබෙන්නේ මෙම ගැටළු සියල්ලටම සැළකිල්ලට ගනිමිනි.

02. ලෝක ටෙස්ට් ශුරතාව 2019-2021

ලෝක ටෙස්ට් තරගාවලියේ ව්‍යුහය සැකසී ඇත්තේ එක් කණ්ඩායමක් ලෝක ශුරතාවලියට ක්‍රීඩා කරන අනිකුත් රටවල් 8න් 6ක් සමග ක්‍රීඩා කරන ආකාරයටය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට මෙවර ලෝක ශුරතාවයේ මූලික වටයේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව මුණගැසෙන්නේ නැත.

සෑම රටක්ම තරගාවලි 6ක් ක්‍රීඩා කරන අතර එය තම රටේ තරගාවලි 3ක් සහ තම රටෙන් පිට තරගාවලි 3ක් ලෙස පවත්වනු ලබයි. එම තරගාවලි අවම වශයෙන් තරග 2 කින් හෝ උපරිම වශයෙන් තරග 5 කට සීමා වුණු ටෙස්ට් තරගාවලි වනු ඇත. තරගාවලියක ටෙස්ට් තරග ප්‍රමාණය අදාළ රටවල් අතර ඇතිවන එකගතාවයන් මත තීරණය වේ.

මෙම ටෙස්ට් ලෝක ශූරතාව තරගාවලි 27 කින් සමන්විත වන අතර එහිදී ටෙස්ට් තරග 71 ක් ඇතුළත්ව තිබේ. අගෝස්තු මස මුලදී ආරම්භවූ එංගලන්ත හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග 5 කින් සමන්විත අළු බඳුන තරගාවලිය ලෝක ටෙස්ට් ශුරතාවයේ පළමු තරගාවලියයි.

Image copyright Getty Images
Image caption ලෝක ටෙස්ට් ශුරතාව

03. ලකුණු සටහන

සෑම රටක්ම ලෝක ටෙස්ට් ශුරතාවට අදාළව එක සමාන තරගාවලි ප්‍රමාණයක් ක්‍රීඩා කළත් ඔවුන් ක්‍රීඩා කරන තරග ප්‍රමාණය වෙනස් වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට තරගාවලි 6 කදී ටෙස්ට් තරග 13ක් ක්‍රීඩා කරද්දී එංගලන්තය තරගාවලි 6 කදී ටෙස්ට් තරග 22ක් ක්‍රීඩා කරනු ලබයි. කෙසේ නමුත් තරග ප්‍රමාණය ලෝක ශුරතාවට ගැටළුවක් නොවන්නේ ප්‍රසාද ලකුණු ලබාදෙන්නේ තරගාවලිවලට එක සමානව වීම නිසාය.

එක් ටෙස්ට් තරගාවලියක් සඳහා ප්‍රසාද ලකුණු 120 ක් ලබා දෙන අතර එම තරගාවලියේ තරග ප්‍රමාණය අනුව එක් තරගයකට ලැබෙන ලකුණු ප්‍රමාණය වෙනස් වේ. උදාහරණයකට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත තරගාවලියේ එක් ටෙස්ට් තරගයක් සඳහා ප්‍රසාද ලකුණු 60 ක් ලබාදෙනු ලැබේ. තරග 5කින් සමන්විත එංගලන්ත-ඕස්ට්‍රේලියා තරගාවලියේ එක් තරගයකට වෙන්ව ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 24කි. සමස්ථ තරගාවලියට හිමි ප්‍රසාද ලකුණු 120 තරග ප්‍රමාණයෙන් බෙදීමෙන් එක් තරගයකට හිමි ලකුණු ප්‍රමාණය ගණනය කළ හැකිය. ඒ අනුව තරග ප්‍රමාණය වෙනස් වුවත් එංගලන්ත-ඕස්ට්‍රේලියා තරගාවලියේත් ශ්‍රී ලංකා - නවසීලන්ත තරගාවලියේත් ලබාගත හැකි ලකුණු ප්‍රමාණය එක සමාන වේ.

තරගයක් ජයග්‍රහණය කලොත් සම්පුර්ණ ලකුණු ප්‍රමාණය ද, ලකුණු සමවුවහොත් දෙපිලටම ලකුණු ප්‍රමාණයෙන් භාගයක් ද, ජය පරාජයෙන් තොරව අවසන්වුවහොත් දෙපිලටම ලකුණු ප්‍රමාණයෙන් 1/3 ක් හිමිවේ.

  • උදාහරණය

ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය ජයගන්නා කණ්ඩායමට ලකුණු 60යි.

තරගය ලකුණු සමවුවහොත් දෙපිළටම ලකුණු 30 බැගින්.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් දෙරටම ලකුණු 20 බැගින්.

මෙලෙස තරගාවලි 27ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 2 එම අවසන් මහ තරගයට තරග වැදීම සඳහා සුදුසුකම් ලබන අතර එම අවසන් මහ තරගය 2021 වසරේ ජුනි මස දී එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙනු ඇත.

Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා හා නවසීලන්ත ටෙස්ට් නායකයන්

04. ශ්‍රී ලංකාවට වාසිදායකද ?

ලෝක ටෙස්ට් ශුරතාවයේ ශ්‍රී ලංකාවට යම් තරමක වාසිදායක තරග කාල සටහනක් හිමිව තිබේ. ඒ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා ඉන්දියාව වැනි ශ්‍රී ලංකාව එතරම් හොඳින් ක්‍රීඩා නොකරන රටවල්වල ක්‍රීඩා කිරීමට සිදු නොවීමය. ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වෙන තරගාවලි පකිස්ථානය, දකුණු අප්‍රිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් රටේ පැවැත්වෙන අතර එම රටවල ශ්‍රී ලංකාව අවසන් වරට පැවති තරග ජයගෙන තිබීම විශේෂත්වයකි.

  • 2019 අගෝස්තු - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් තරග 2 ක් ශ්‍රී ලංකාවේදී
  • 2019 ඔක්තෝබර් - ශ්‍රී ලංකා හා පාකිස්ථානය අතර ටෙස්ට් තරග 2ක් පාකිස්තානයේදී
  • 2020 මාර්තු/අප්‍රේල් - ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරග 2ක් ශ්‍රී ලංකාවේදී
  • 2020 ජුලි/අගෝස්තු - ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ටෙස්ට් තරග 2ක් ශ්‍රී ලංකාවේදී
  • 2021 ජනවාරි - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 2ක් දකුණු අප්‍රිකාවේදී
  • 2021 පෙබරවාරි/මාර්තු - ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර ටෙස්ට් තරග 2ක් කොදෙව් දුපතේදී.

මීට අමතරව මෙම කාලවකවානුවේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමග ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගවල ප්‍රතිපල ලෝක ටෙස්ට් ශුරතාවයේ ප්‍රතිපලවලට එක් කරගනු නොලැබේ. කෙසේ නමුත් මීළඟ ටෙස්ට් ලෝක ශුරතාවයට සුදුසුකම් ලැබීමේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට එම තරගවල ප්‍රතිඵල වලංගුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර