ශ්‍රී ලංකා ක්‍රිකට් : බැටන් පොල්ල වෙනුවට ක්‍රිකට් පිත්ත අතට ගත් පොලිස් ශුරයෝ

"කොළඹ ප්‍රැක්ටිස් එන්න පාන්දර 3.00 ට මහ පාරට එන්න ඕන. එදත් බයිසිකලේ නැගල කරුවලේම ආව. එකපාරම ලොකු කළු පුල්ලියක් වගේ ඉස්සරහට දැක්කා. තනි අලියා මගේ ඉස්සරහ. මම බය වෙච්ච් පාර, බයිසිකලේ දාලා දිව්වා. ඌ තරහට එළවගෙන ආවා. අන්තිමට කැලේ මැදට පැනල බේරුණේ, ආපහු ගිහින් බලන කොට බයිසිකලේ කුඩුකරලා."

එය ත්‍රාසජනක සිනමා පටයක දර්ශන පෙළක් එකවර සිහි ගැන්වුව ද, ගල්ගමුව මීගලෑව පදිංචි ජනක රත්නායක තම ජීවිත අත්දැකීමක් බීබීසී සිංහල සේවයට පැවසුවේ ඒ ආකාරයටය.

ගල්ගමුව පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත ඔහු පොලිස් දෙපාර්තමේන්තු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩකයාය.

ඉකුත් දා එක්සත් රාජධානියේදී අවසන් වූ ජාත්‍යන්තර පොලිස් ශූරතා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව සතු වූ අතර ජනක ඇතුළු තවත් ක්‍රීඩකයෝ රැසක් එහි දී දස්කම් දැක්වූහ.

Image copyright facebook
Image caption ජනක රත්නායක

ජයග්‍රහණයෙන් අනතුරුව පොලිස් කණ්ඩායම විවිධ ඇගයීම් වලට පාත්‍ර වුවද, ඔවුන් පැමිණි ගමන් මග අති දුෂ්කර එකක් වූ බව ක්‍රීඩකයෝ පවසති.

පෞද්ගලික අපහසුකම් මධ්‍යයේ වුව ද රට වෙනුවෙන් කීර්තියක් අත්කරදීම සිය එකම අභිලාශය වූ බව කණ්ඩායමට නායකත්වය දුන් කමල් පුෂ්පකුමාර පවසයි. ඔහු නිලයෙන් පොලිස් අධිකාරීවරයෙකි.

ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය භාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

"එංගලන්තයට එන්න තබා ගමෙන් කොළඹ එන්නවත් පහසුකම් නැති අහිංසක පිරිසක් තමයි මේ කණ්ඩායමේ ඉන්නේ. හැබැයි මේ ආරාධනය ආවම අපි උත්සහය අතහැරියේ නෑ. අපි බැලුව කොහොමද මේ අවශ්‍යතා සම්පුර්ණ කරගන්නේ කියලා. ඒ අතරේ අපි පුහුණුවීම් අඛණ්ඩව කළා," කමල් පුෂ්පකුමාර බීබීසී සිංහල සේවයට පැවසීය.

Image caption නායක කමල් පුෂ්පකුමාර (ඉදිරියෙන් )

ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ නිලධාරීන් පස් දෙනෙක් ඇතුළුව 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්සත් රාජධානියේ මාසයකට අසන්න කාලයක් ගතකිරීම පහසු කටයුත්තක් නොවූ බව කමල් පුෂ්පකුමාර පවසන්නේය.

දෙපාර්තමේන්තුව මට්ටමින් සියලු සහය තමන්ට හිමිවූ බව ඔහු පවසයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේදී තවත් බොහෝ අවශ්‍යතා සම්පුර්ණ කරගැනීමට ක්‍රීඩකයින්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ.

"පුළුවන් උපරිම දේ දෙපාර්තමේන්තුවෙන් කළා. නමුත් එංගලන්තේ වගේ රටක දවස් ගණන් ඉන්න ලැබුණු සල්ලි ප්‍රමාණවත් නෑ. වීසා ගාස්තු වගේම ඒ රටේ වියදමත් සැරයි. අපි ගොඩක් දුක් මහන්සියෙන් ජීවත් වෙන්නේ. මගේ දරුවා තැලසීමියා රෝගයෙන් පෙළෙනවා. අවසානයේ බිරිඳගේ කණ කර උකස් තියලා ඉතුරු සල්ලි ටිකක් හොයාගත්තා. කණ්ඩායමේ හැමෝම වගේ එහෙමයි සල්ලි හොයාගත්තේ," ජනක පැහැදිලි කරයි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ද පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් මූල්‍යමය සහය දක්වා තිබිණි.

කඩුලු රකින ක්‍රීඩක රන්ජිත් කුමාර

Image caption රන්ජිත් කුමාර

පොලිස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රන්ජිත් කුමාර මුලින් දෙපාර්තමේන්තුවේ රගර් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

නායක කමල් පුෂ්පකුමාරගේ මගපෙන්වීම යටතේ පසුව ඔහුට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමි වී තිබේ.

"මගේ දරුවත් තැලසීමියා රෝගයෙන් පීඩා විඳිනවා. දින තුනකට වරක් ලේ මාරු කරන්න ඕන. මේ අපහසුතා මධ්‍යයේ අපි මේ හීනය හැබෑ කරගත්තේ. ඇත්තටම කන්න බොන්න නැතිව ක්‍රීඩා කරලා උනත් රටට, දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත් කර දෙනවා කියන අධිෂ්ඨානයෙන් මම ඇතුළු අපි හැමෝම හිටියේ."

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන් නොව පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහයකයින් සොයා ගැනීම අභියෝගයක් වූ බව ඔවුහු පවසති.

තරගාවලියට සහභාගිවීම සඳහා අවශ්‍ය ඇඳුම් සපයාගැනීම ද ගැටලුවක් වූ අතර, දැඩි පරිශ්‍රමයකින් පසු එක්තරා ජංගම දුරකථන සමාගමක් ඒ සඳහා අනුග්‍රහය දැක්වූ බව කණ්ඩායමේ නායකයා පැවසීය.

ක්‍රීඩකයින් ඇතුළු නිලධාරීන් එංගලන්තයට පැමිණිය ද ඒ වනතෙක් නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් වෙන් කරගෙන නොතිබූ බවද වාර්තා වේ.

එහිදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ය.

බ්‍රිතාන්‍යයේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයෙක් තමන් ඇතුළු පිරිස ක්‍රිකට් කණ්ඩායම රැක බලාගත් හැටි පැහැදිළි කළේය.

"අපි කොටස් කීපයකට බෙදුනා. මුළින්ම හැකිවුණා ඔවුන් සියල්ලටම එකම ස්ථානයක නවාතැන් දෙන්න. ඒ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුගේ නිවසක් නොමිලයේ ලැබුණා . ඉවුම් පිහුම් වේල් කිහිපය භාර කෙරුණා තවත් කණ්ඩායමකට. මම ඇතුළු තවත් කිහිප දෙනෙක් අපේ වාහනවලින් ඔවුන් රැගෙන ගියා තරගයෙන් තරගයට. සමහර තරග තිබුණේ සෑහෙන්න දුර පළාත් වල. තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් සති ගණන් නිවාඩු දමා පැමිණ ඔවුන් දිරිමත් කළා. එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ දන්නවා මෙවන් කැපකිරීමක් තනිව කළ නොහැකි බව. නමුත් අපි එකතු වීම තුළ පුළුවන් උපරිමය ඉටු කළා," ඔහු පැහැදිළි කළේය. සිය නම හෙළි නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

අලුත් අත්දැකීමක්

මේ සියලු සත්කාර මධ්‍යයේ කණ්ඩායම ද තරගයෙන් තරගය උපරිම දක්ෂතා අතරට පැමිණි බව කණ්ඩායමේ නායකයා පැවසීය.

"මේක අලුත් අත්දැකීමක් වුණා. අපි උපරිමයෙන් ක්‍රීඩා කළා. අපේ ක්‍රීඩකයින් අති දක්ෂව අනිත් කණ්ඩායම් පරාජය කළා."

ලොව රටවල් රැසක පොලිස් කණ්ඩායම් වල සහභාගිත්වයෙන් මෙවර මෙම 20/20 තරගාවලිය සංවිධාන කර තිබුණේ සයවන වරට ය.

තරගාවලිය පුරා අපරාජිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් මහා තරගයේ දී බටහිර ඕස්ට්‍රේලියා පොලිස් ක්‍රිකට් කණ්ඩායම පරාජය කළහ.

එදින පැවති වර්ෂාව හේතුවෙන් අවසන් මහා තරගයේ ජය, පරාජය තීරණය කෙරුණේ Bowl Out ක්‍රමය යටතේය.

Image caption ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම තරගයක් අතරතුර
Image caption ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම තරගයක් අතරතුර
Image caption ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම තරගයක් අතරතුර

එහි දී පළමු වටයේ දී දෙපිලේ ක්‍රීඩකයෝ 1:1ක් සේ ලකුණු ලබා ගත් අතර දෙවැනි වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1:0 සේ ඉදිරියේ සිටිමින් 2019 පොලිස් ක්‍රිකට් ලෝක කුසලානයට හිමිකම් කීහ.

තරගාවලියේ කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්වූයේ මහේෂ් ප්‍රියදර්ශන ය. ඔහු සහභාගි වූ තරගවලදී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 210ක් සහ වේගපන්දු යවමින් කඩුලු 13ක් දවාගෙන තිබිණි.

කුසලානය තමන් අත් කරගත්ත ද ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයීමේදී ලැබුණු විනිශ්චයන් සම්බන්ධයෙන් සතුටට පත් නොවන බව නායකයා පවසන්නේය.

"ශ්‍රී ලංකාව ක්‍රිකට් කාණ්ඩ තුනක ලෝක කුසලාන රැගෙන ආව. (ලෝක කුසලානය, 20/20 ලෝක කුසලානය, දෘශ්‍යාබාධිත ලෝක කුසලානය) අපිට හැකිවුණා සිව්වැනි කාණ්ඩය විදියට පොලිස් ලෝක ශූරතාව මව් රටට රැගෙන එන්න. ආසියාතික රටක් විදිහට යම් අභියෝග තිබුණා තරගය අතරතුර. හිතුවේ නැහැ අපි දිනයි කියන දේ. පොඩි නොසතුටක් තිබෙනවා දක්ෂතම ක්‍රීඩකයින් ඇගයීමේදී අපේ ක්‍රීඩකයින්ගේ නම් නොතිබීම ගැන. ඒත් අවසානයේ රට දිණුවා. අපි විතරක් නොවේ එංගලන්තේ ඉන්න අපිට උදව් කළ ශ්‍රී ලාංකිකයිනුත් දිනුවා," කපිල පුෂ්පකුමාර පැවසීය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග බටහිර ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියාව (නිව් සවුත්වේල්ස්), ලෝක පොලිස් කණ්ඩායම, රාජකීය මිල්ටරි පොලිසිය, කෙන්ට් පොලිස් ක්‍රිකට් කණ්ඩායම, වුස්ටර්ෂයර් පොලිස් කණ්ඩායම, නිව්යෝර්ක් පොලිස් කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත යන කණ්ඩායම් 9 සහභාගි වූහ.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර