ක්‍රිකට් : පරාජය වී ශ්‍රී ලංකාව රැක ගත් වාර්තාව

Image copyright SLC
Image caption ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී සරා ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් අනපේක්ෂිත පරාජයකට ලක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

වර්ෂාව නිසා දැඩි ලෙස බාධා එල්ල වූ මෙම තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තැබුවත් තරගයේ පස් වන දිනය වූ සඳුදා (අගෝස්තු: 26) ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිහරඹය නිසා නවසීලන්තයට ජය අත් විය.

මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 65 කින් ජය ගත් නවසීලන්ත කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය. ඒ අනුව ලෝක ටෙස්ට් ශුරතාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය ලකුණු 60 බැගින් ලබාගෙන දැන් පෙරමුණේ සිටිති.

ගාල්ලේදී පැවති දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශුරතාවලියේ පෙරමුණ ගැනීමට සමත්විය.

නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළ 2012 වසරේදී ද දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ලෙස සම විය. එහිදී ද ශ්‍රී ලංකාව ගාල්ලේ පැවති පළමු තරගය ජය ගත් අතර කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවති දෙවන තරගය පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව 2010 වසරේ සිට කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්ට් තරග 8න් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිව තිබෙන්නේ තරග 2ක් පමණි. විශේෂයෙන් ම ගාල්ලේ පළමු තරගය ජයගෙන තිබූ තරගාවලි කිහිපයක් ම ශ්‍රී ලංකාවට ජය ගැනීමට නොහැකි වූයේ පී සරා ක්‍රීඩාංගණයේදී ලත් පරාජයන් සමගයි.

කෙසේ නමුත් මෙම තරගය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ තරගයක් ජය-පරාජයෙන් තොරව අවසන් නොවුණු අඛණ්ඩ 26 වන ටෙස්ට් තරගය බවට මෙම තරගය පත්වේ.

2014 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ සෑම ටෙස්ට් තරගයක් ම තීරණයක් සහිතව අවසන් වී තිබේ. මෙය ලෝකයේ එක් රටක වැඩි ම තරග සංඛ්‍යාවක් අඛණ්ඩව තීරණයක් සහිතව අවසන් වූ අවස්ථාව ලෙස සටහන් වී තිබිණි.

ශ්‍රී ලංකාව තබා තිබූ මෙම වාර්තාව තරග 25කින් අවසන් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයන් මත පළ කළේ, මෙම තරගයට වර්ෂාවෙන් එල්ල වූ බාධාවත් සමගය.

කෙසේවෙතත් වර්ෂාවේ බාධාව ද නොතකා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පිතිකරණය නිසා ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරග ජය-පරාජයෙන් තොරව අවසන් නොවන රටක් ලෙස ශ්‍රී ලංකාව තබා තිබෙන වාර්තාව අද තවත් තරගයකින් තරග 26ක් දක්වා දික්විය.

සබැඳි විෂයයන්