දිමුත්, ලසිත්, ඇන්ජලෝ පාකිස්තානයට නොයන තීරණයක. විශේෂ රැස්වීමක් නව වැනිදා

Image copyright AFP Contributor

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න, 'විස්සයි විස්ස' නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළේ ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන් සංචාරයට සහභාගීවීමට අකමැත්ත පළකර ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස අගදී පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතය.

එම තරගාවලියට 'එක්දින' සහ 'විස්සයි විස්ස' තරග තුන බැගින් ඇතුළත් වන අතර ,2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පාකිස්ථානයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසු 'සම්පූර්ණ සංචාරයක්' සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් එරටට යන පළමු අවස්ථාව මෙයයි.

2017 වසරේදී දැඩි ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රී ලංකා පිල එක් 'විස්සයි විස්ස' තරගයක් එරටදී ක්‍රීඩා කොට ඇත.

කෙසේවෙතත්, එම තරගය සඳහාත් එවක ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි මුල්පෙළේ ක්‍රීඩකයන් රැසක් පාකිස්ථානයට යාම ප්‍රතික්ෂේප කළහ. එහෙත් පසුව නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කර ගනිමින් තිසර පෙරේරාගේ නායකත්වයෙන් පාකිස්ථාන භූමියේ දී එම තරගය පැවැත්වුණි.

මෙම සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය 'කරච්චි' නගරයේ පැවැත්වෙන අතර, විස්සයි විස්ස තරග 'ලහෝර්' නගරයේ පැවැත්වීමට නියමිතය. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර කණ්ඩායමක් පාකිස්ථානයේ ක්‍රීඩා කරන දීර්ඝතම තරගාවලියද මෙය වෙයි.

Image copyright AFP Contributor
Image caption 2017දී ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

මෙම තරගාවලියේ ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් ජුලි මාසයේ පාකිස්ථානයේ සංචාරයක නිරත වූහ. ජනාධිපති ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන බවට එහිදී පකිස්තාන ක්‍රීඩා බලධාරීන්ගෙන් පොරොන්දුවක් ද ලැබී ඇත.

විශේෂයෙන්ම , ශ්‍රී ලංකාවට එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භ කිරීමට මුල පුරමින් පාකිස්ථානයේ තම 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එවීමට කටයුතු කළේය.

එම සියලු තත්ත්ව සළකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉදිරි සංචාරයට එකඟවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

"ක්‍රීඩකයන් පිරිසක් ඔවුන්ට සහභාගී වීමට නොහැකි බව මටත් ප්‍රකාශ කළා. මේ ගැන ක්‍රිකට් බලධාරීන් ඔවුන් සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි. මම ක්‍රීඩා ඇමති ලෙස ඔවුන් සමගම ඔවුන්ගේ බස් රථයේම ගමන් කරන්න එන්නම් කියල කිව්වා - ඔවුන්ට ආත්ම විශ්වාසයක් ඇති කිරීමට " ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම සංචාරය තහවුරු කිරීමට පෙර ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩකයන් සමග ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකළ බව ක්‍රීඩකයන් නගන එක් චෝදනාවකි. අනිත් චෝදනාව වන්නේ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන අනිකුත් ප්‍රධාන කණ්ඩායම් තවදුරටත් පාකිස්ථානයට නොයන තත්ත්වයක් තුළ, 2009දී ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම එහි සංචාරයක් සඳහා සහභාගී කරවන්නේ කුමක් නිසාද?යන්නයි.

සිය පවුල් වලින් තමන් මෙම සංචාරයට සහභාගී වීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වන බව ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළහ.

Image copyright AFP Contributor
Image caption 2017දී ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේදී උණුසුම් පිළිගැනීමක්

පකිස්තානයේදී ක්‍රියාත්මකවන ආරක්‍ෂිත වැඩපිළිවෙල ගැන ලබන නව (9) වැනිදා, සඳුදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැහැදිලි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක විසින් ක්‍රීඩකයන්ට එම සැලැස්ම ගැන කරුණු පැහැදිලි කරනු ලැබීමට නියමිතය.

එම පැහැදිලි කිරීමෙන් පසුත් ක්‍රීඩකයන් පකිස්තානයේ සංචාරය කිරීමට අකමැතිනම්, 2017 වසරේ සිදුවූ ආකාරයට නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පකිස්තානයට යැවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙක් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය,

Image copyright AFP Contributor

2017 වසරේ පකිස්තානයේ සංචාරය කළ ක්‍රීඩකයන් මෙවර තරගාවලියටත් සහභාගී වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි.

  • 2017 පකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම

1. තිසර පෙරේරා - නායක

2. ධනුෂ්ක ගුණතිලක

3. දිල්ශාන් මුණවීර

4. සධිර සමරවික්‍රම

5. ඉසුරු උදාන

6. දසුන් ශානක

7. චතුරංග ද සිල්වා

8. සීකුගේ ප්‍රසන්න

9. සචිත් පතිරණ

10. මහේල උඩවත්ත

11. විකුම් සංජය

12. අශාන් ප්‍රියන්ජන්

13. මිනොද් භානුක

14. විශ්ව ප්‍රනාන්දු

15. ලහිරු ගමගේ

16. ජෙෆ්රි වැන්ඩසේ

තවත් තොරතුරු;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර