හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරක

BBC

'ටොප් ගියර්' රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරකට ලක් වී තිබේ.

එම වැඩසටහන රූ ගත කෙරෙන අතරතුරදී ඔහු පැද වූ ත්‍රිරෝද යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පැයට සැතපුම් 124ක වේගයකින් සිය ත්‍රිරෝද යතුරු පැදිය පදවා තිබේ.

නමුත් ඔහු කිසිදු තුවාලයක් හෝ නොලබා බේරී තිබෙන බව බීබීසීයට අනාවරණය වේ.

41 හැවිරිදි හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගේ යතුරු පැදිය එල්වින්ටන් ගුවන් පථයේ ධාවනයේ යෙදෙන අතරතුර ලිස්සා ගොස් ඇත.

"මට කිසිවක් වුණේ නැහැ. මම බොහොම හොඳින් ඉන්නවා. අද රූ ගත කිරීම්වලට සහභාගි වුනා," ෆ්ලින්ටොෆ් පැවසීය.

"මම හිතුවට වැඩිය දුරක් ධාවනයේ යෙදුනා. මට ඕනෑ වුණේ හොඳට ඒ රූ ගත කිරීම කරන්න. නමුත් මේ අවස්ථාවේ මම ගිය දුර ටිකක් වැඩියි. ඒක ටෙලිවිෂන් එකේ බලන කොට මට අවේ හාස්‍යජනක හැඟීමක් බියකරු හැඟීමකට වැඩිය."

ඔහු පැඩී මැගිනස් සහ ක්‍රිස් හැරිස් යන දෙදෙනා සමග 'ටොප් ගියර්' නම් රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරයි.

එම අනතුර සිදුවූයේ ඔවුන් තිදෙනා ධාවනයේ යෙදී සිටින අතරවාරයේ දීය.

මීට පෙර ටොප් ගියර් වැඩසටහන ඉදිරිපත් කළ රිචර්ඩ් හැමන්ඩ් 2006 දී අනතුරකට ලක් වී දරුණු ලෙස තුවාල ලැබුවේ ද මෙම ගුවන් පථයේදීම ය.

අනතුර සිදුවන අවස්ථාවේ, ෆ්ලින්ටොෆ් 'ටයිම් බැන්ඩිට්' ලෙස නම් කර ඇති ත්‍රිරෝද යතුරු පැදියක් ධාවනය කරමින් සිටියේය. ඒ අවස්ථාවේ ඔහු නිසි ලෙස ආරක්ෂක ඇඳුම් සහ උපාංග ලා සිටි බව වාර්තා වේ.

"ටොප් ගියර්" යනු එංගලන්තය ඇතුළු බොහෝ රටවල ප්‍රකට රූපවාහිනී වැඩසටහනකි. වේගය සහ ත්‍රාසය පිරි එම වැඩසටහන මගින් විවිධාකාර යතුරු පැදි සහ වෙනත් රථ නිෂ්පාදක පිරිවිතයන් හා අනුකූල දැයි විමසා බැලේ.

එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂතම තුන් ඉරියව්වෙන් දස්කම් පෑ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ඬෘ ෆ්ලින්ටොෆ්, 2009 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

කියවන්න: