ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක්වූ අලුත් ම වාර්තාව: රෝහිත් ෂර්මාගෙන් වාර්තා දෙකක්

Image copyright Getty Images
Image caption රෝහිත් ෂර්මා

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට සමත්විය.

ඉරිදා (ඔක්: 06) නිමාවට පත්වූ මෙම තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 203ක ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වූ අලුත් ම වාර්තාව

මෙහිදී ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් තරගයක ආරම්භක පිතිකරුවෙකු ලෙස පළමු වරට පන්දුවට පහර දුන් අතර ඔහු ඉනිම දෙකේදී ම ශතක රැස් කිරීමට සමත් විය.

මෙය ආරම්භක පිතිකරුවෙකු ලෙස තමන් සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදී ම ඉනිම දෙකේදී ශතක රැස් කළ පළමු අවස්ථාව ලෙස ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක් විය.

එහිදී රෝහිත් ෂර්මා පළමු ඉනිමේදී ලකුණු 176ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 127ක් රැස් කිරීමට සමත් විය.

වැඩි ම 6 පහර සංඛ්‍යාව

මෙම ඉනිම දෙකේදී රෝහිත් ෂර්මා තවත් ලෝක වාර්තාවක් අභිබවා යාමට සමත් විය. ඒ, 1996 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පකිස්තාන ක්‍රීඩක වසීම් අක්‍රම් ටෙස්ට් තරගයකදී එල්ල කළ වැඩි ම 6 පහර සංඛ්‍යාව ඉක්මවා යමිනි.

Image copyright Getty Images

ඒ අනුව, 6 පහර 13ක් එල්ල කරමින් රෝහිත් ෂර්මා, වසීම් අක්‍රම් එල්ල කර තිබූ 6 පහර 12 වාර්තාව බිද හෙළීය.

රෝහිත් ෂර්මා පළමු ඉනිමේදී 6 පහර 6ක් සහ දෙවන ඉනිමේදී 6 පහර 7ක් එල්ල කර තිබිණි. කෙසේ වෙතත්, වසීම් අක්‍රම් 6 පහර 12 ම එල්ල කර තිබුණේ එක් ඉනිමකදීය.

එක්දින තරගයක වැඩි ම ලකුණු

එක්දින ක්‍රිකට් තරගවලදී ද කැපී පෙනෙන දස්කම් දක්වා ඇති රෝහිත් ෂර්මා, එක්දින තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කියයි.

ඔහු 2014 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 173කදී ලකුණු 264ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවීය.

ටෙස්ට් තරග 28කට පමණක් සහභාගි වී ඇති ඔහු ශතක 5ක් සහ අර්ධ ශතක 10ක් වාර්තා කර තිබේ.

ඊට අමතරව, එක්දින තරග 218කදී ශතක 27ක් සහ අර්ධ ශතක 42ක් ද ඔහු රැස් කර ඇත.

තවදුරටත් කියවන්න: