ශ්‍රී ලංකා ක්‍රිකට්: ප්‍රධාන පුහුණුකරු තනතුර එංගලන්තයේ මාක් රාම්ප්‍රකාශ්ට?

මාක් රාම්ප්‍රකාශ් Image copyright Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු වන මාක් රාම්ප්‍රකාශ් ඉදිරිපත්ව සිටියි.

බීබීසී සිංහල සේවය මේ පිළිබඳව විමසු විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ, "එවැනි ප්‍රොසෙස් එකක් කරගෙන යනවා. තවම අවසාන තීරණයක් අරගෙන නැහැ," යනුවෙනි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටී.

එම කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම රුමේෂ් රත්නායක යටතේ පසුගිය දා පාකිස්තානයේ සංචාරය කළ අතර එම විස්සයි විස්ස තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට ඔවුහු සමත් වූහ.

නව ප්‍රධාන පුහුණුකරුවා ලෙස රාම්ප්‍රකාශ් ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වුවහොත් ඔහු එළඹෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා එක් කර ගැනීමට ඉඩ තිබේ.

Image copyright SLC
Image caption ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙයි

කවුද මේ රාම්ප්‍රකාශ්?

50 වන වියේ පසුවන මාක් රාම්ප්‍රකාශ් එංගලන්තයේ බිහි වූ දක්ෂ පිතිකරුවෙක් ලෙස සැලකේ.

ඔහු, එංගලන්ත ප්‍රාන්ත තරගවලදී ඉහළ දස්කම් පෑව ද ජාත්‍යන්තර පිටියේ ඒ ආකාරයට දස්කම් පෑමට අපොහොසත් වුණි.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 52කදී ඔහු ලකුණු 2350ක් රැස් කර ඇති අතර ඊට ශතක දෙකක් ඇතුළත්ය.

නමුත් ප්‍රථම පෙළ තරග 461කදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 35,659කි. ඊට ශතක 114 අයත් ය.

රාම්ප්‍රකාශ් මේ වසරේ මාර්තු මාසය තෙක් වසර 5ක කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළේය.

නව තනතුරු කිහිපයක්:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ හිටපු තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනත් තනතුරු කිහිපයක් සඳහා එක්වීමට නියමිතය.

"සමහර අංශ සඳහා කෙටි කාලීන ව පුහුණුකරුවන් සහ උපදේශකයින් අපේ සිස්ටම් එකට ගේනවා නමුත් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අපි බලන්නේ දීර්ඝකාලීන පත් කිරීමක්," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා තවදුරටත් පැවසීය.

ඒ අනුව වේගපන්දු උපදේශක ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රෙට් ලී ද පන්දු රැකීමේ උපදේශක ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ගේ සහය ලබාගැනීමට ද සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා විණි.

Image copyright SLC
Image caption පසුගියදා පාකිස්තානය සමග පැවති 20/20 තරගාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජය ලැබීය

එංගලන්තයේ පැවති 2019 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියා කළේය.

පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළ ජෝන් ලුවිස් සහ පන්දු රකින පුහුණුකරු ලෙස සේවය කළ ස්ටීව් රික්සන් ද ඒ අතර විය.

වසර 10ක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි පියල් විජේතුංග ගේ කොන්ත්‍රාත්තුව ද නැවත දීර්ඝ කර නොමැත.

දඟ පන්දු පුහුණු කටයුතු සඳහා උපදේශකයෙක් ලෙස සේවය ලබාගැනීම සඳහා හිටපු පාකිස්තාන ක්‍රීඩකයෙකු සමග ද සාකච්ඡා කෙරෙන බවට වාර්තා වේ.

හතුරුසිංහ ඉවත් කිරීම:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය පසුගිය අගෝස්තු මාසයේ අත්හිටවූ අතර ඔහු ඊට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ.

හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර තිබු ගිවිසුම ප්‍රකාරව ඔහු 2020 අවසානය තෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණි.

ඔහු 2017 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්විණි. ඒ එවකට එම තනතුර දැරූ ග්‍රැහැම් ෆෝර්ඩ් ඒවත් කිරීමෙන් පසුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහට ගෙවන "විශාල මුදලට" සාපේක්ෂව ප්‍රතිඵල දීමට නොහැකිව ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිතර පැවසීය.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වරක් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ හතුරුසිංහගේ මාසික වේතනය ඇමෙරිකානු ඩොලර් 40,000ක් බවය.

2018 ජනවාරි සිට 2019 ජුලි අවසානය දක්වා අතර කාලය තුළ දී, ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 16ක් ක්‍රීඩා කළ අතර ඉන් තරග 6ක් ජයගෙන 7ක් පරාජයට පත්විය. තරග තුනක් ජයපරාජයෙන් තොරව අවසන් විය.

හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 39 කින් ජයගත්තේ 14ක් පමණි. තරග 24ක් පරාජය විණි.

කලක් විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක එක ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඔහුගේ ධූර කාලයේදී තරග 12කින් ජයගෙන ඇත්තේ 4ක් පමණි.

ඉන්පසු පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රුමේෂ් රත්නායක ය.

මේ තොරතුරුත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර