ක්‍රීඩාවෙන් සුදනන් වීමට තැත් කරන මානව හිමිකම් කඩ කරන රටවල්

Image caption ටිබෙට් දේශයට පක්‍ෂව උද්ඝෝෂණය කළ කාන්තාවක් බේජිං ඔලිම්පික් ක්‍රීඩාගාරයෙන් ඉවත් කරන ලද ආකාරය

මෙය සෞදි අරාබියේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරඟ රැසක් පැවැත්වෙන කාල පරිච්ඡේදයක් වී ඇත.

බ්‍රිතාන්‍ය බොක්ෂින් ශූර ඇන්තනි ජොෂුවා පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 07) සෞදි අරාබියේ දී සිය ප්‍රතිවාදියා වන ඇන්ඩි රූස් (Andy Ruiz)සමඟ සටන් වැද යළිත් ලෝක කිරුළ දිනා ගත්තේය.

ෆෝමියුලා-1 පළමු මෝටර් රථ ධාවන තරඟය පසුගිය මාසයේ 'රියාද්' අගනුවර දී පැවැත්විණ.

රියල් මැඩ්රිඩ්, බාසිලෝනා, අත්ලෙටිකෝ මැඩ්රිඩ් සහ වලෙන්සියා යන ක්‍රීඩා සමාජ හතර සහභාගි වෙන 'ස්පාඤ්ඤ සුපිරි කුසලාන' (Spanish Super Cup) තරඟාවලිය ඉදිරි වසර තුන ඇතුළත සෞදි අරාබියේ පවත්වන බව ස්පාඤ්ඤ ක්‍රීඩා බලධාරීහු නිවේදනය කළහ.

එම තීරණය ස්පාඤ්ඤයේ වැඩබලන කනිෂ්ඨ ක්‍රීඩා ඇමතිනී මරියා හොසේ රියෙන්ඩාගේ දෝෂ දර්ශනයට ලක් විය.

"කාන්තා අයිතිවාසිකම්වලට ගරු නොකරන රටවල පැවැත්වෙන ක්‍රීඩා තරඟවලට ආණ්ඩුවේ සහයෝගය නොලැබෙනු ඇතැයි," ඇමතිවරිය සඳහන් කළාය.

රටක් සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති මහජන ආකල්ප වෙනස් කර ගැනීම සඳහා ක්‍රීඩාව පාවිච්චි කරමින් "ක්‍රීඩාවෙන් සුදනන් වීමට" (sportswashing) තැත් කරන බවට චෝදනා ලබන අලුත්ම රට බවට පත්වන සෞදි අරාබිය එලෙස කටයුතු කරන්නේ කෙසේද? සහ කුමක් නිසාද? යන්න තේරුම් ගැනීමට ස්පාඤ්ඤ ඇමතිවරියගේ ප්‍රකාශය ප්‍රබල ආධාරයක් වෙයි.

'Sportswashing' යන යෙදුම භාවිත කරනු ලබන්නේ විශේෂයෙන්ම මානව හිමිකම් වාර්තා පිරිහුණ රටක් සිය කීර්තිය ගොඩනගා ගැනීම උදෙසා ක්‍රීඩා අවස්ථා පාවිච්චි කරනු ලැබීම හෙළිදරව් කිරීම සඳහාය.

ක්‍රීඩාවෙන් සුදනන් වීම

"ක්‍රීඩාවෙන් සුදනන් වීම" (Sportswashing) යන යෙදුම අලුත් දෙයක් විය හැකි නමුත් එම අරමුණෙන් ක්‍රීඩාව යොදා ගැනීම ආගන්තුක කරුණක් නොවේ.

"Sportswashing" යන වචනය 2015 වසරේ නිර්මාණය වුණේ, අසර්බයිජානය විසින් ක්‍රීඩාව පාවිච්චි කරන ලද ආකාරය හෙළිදරව් කිරීම සඳහාය.

ඛනිජතෙල් සම්පතින් පොහොසත් අසර්බයිජානය, පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම සහ මානව හිමිකම් කඩ කිරීම ආදී අපචාරයන්ට සම්බන්ධ ඉතිහාසයක් සහිත රාජ්‍යයකි.

ඒ සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැනි සංවිධාන මගින් පවා වාර්තා කොට ඇත.

අසර්බයිජානය 2015 වසරේ දී 'අත්ලෙටිකෝ මැඩ්රිඩ්' (Atletico Madrid) ක්‍රීඩා සමාජයේ අනුග්‍රාහකයා වීම මගින් දැනටමත් ප්‍රධාන දහරාවේ ක්‍රීඩා තරඟ සමූහයට එක්ව සිටියි.

යුරෝපයේ ක්‍රීඩා ඇතුළත් කරමින් අලුතින් හඳුන්වා දෙන ලද "යුරෝපියානු ඔලිම්පික් තරගාවලියක්" ("Olympics of Europe")වෙනුවෙන් මුදල් යෙදවූ අසර්බයිජානය, එහි සමාරම්භක ක්‍රීඩා උළෙල 'බකු' (Baku) අගනුවර සංවිධානය කිරීමට කටයුතු කළේය.

Image caption යුරෝපා පාපන්දු අවසන් මහ තරගය අසර්බයිජානයේ 'බැකු' අගනුවර පැවැත්වුනේ විරෝධතා මැදය.

එයින් වසරකට පසු 'බකු' (Baku) අගනුවර වීදි ඔස්සේ පළමු 'ග්‍රෝන් ප්‍රී' (first Grand Prix) මෝටර් රථ ධාවන තරගයට සහභාගි වූ මෝටර් රථ ධාවනය කෙරෙනු දක්නට ලැබුණි.

පළමු තරගයේ දී එය 'යුරෝපියානු 'ග්‍රෝන් ප්‍රී' (European Grand Prix) යනුවෙන් නම් කරනු ලැබ තිබුණත් පසුව එය නම්කරනු ලැබ තිබුණේ 'අසර්බයිජාන් ග්‍රෝන් ප්‍රී' (Azerbaijan Grand Prix) යනුවෙනි.

2019 'යුරෝපා ලීග්' අවසාන මහා තරගයේ (2019 Europa League Final) සත්කාරක රට අවට පත්වීම සඳහා තරග වැදුන අසර්බයිජානය එම අවස්ථාව දිනා ගත්තේය.

එමගින් උදාවූ දැන් අලුත් තත්වය යටතේ, රටේ නාමය හැටියට 'අසර්බයිජානය' යන වචනය යොදා ගනිමින් කෙරෙන අන්තර්ජාල සෝදිසි කිරීමක දී ඉහළම ස්ථානයක තිබෙන්නේ F1 හෝ මලල ක්‍රීඩා පිළිබඳ තොරතුරු වෙති.

එරට මානව හිමිකම් පිළිබඳ වාර්තාව ද්විතීයික තැනකට පත්ව ඇත.

අසර්බයිජානය හා සම්බන්ධ ප්‍රවෘත්තිමය වැඩ සටහන්වලට දැන් බෙහෙවින් ඇතුළත් කෙරෙන්නේ නම් දරණ කීර්තිමත් ක්‍රීඩකයන් සිය කුසලතා ප්‍රදර්ශනය කරන ආකර්ෂණීය මහා තරගවල ක්‍රීඩා තොරතුරු ආදියයි.

එවැනි කීර්තිමත් ක්‍රීඩකයන් අසර්බයිජාන් භූමියේ ක්‍රීඩා කරනු ලැබීම මගින් "එම දේශයේ කිසියම් වැරදි ක්‍රියාවක් සිදු වීමට ඉඩක් නැත" යන පණිවුඩය ඒවා නරඹන ප්‍රජාව අතර ඉතාම සූක්‍ෂම ලෙස ජනගත කිරීමේ බලාපොරොත්තුවකින් අසර්බයිජාන බලධාරීන් උපායශීලීව කටයුතු කරන බවක් දක්නට ලැබෙයි.

ජිම්නාස්ටික් සහ පාපන්දු ක්‍රීඩකයන්ට මෙන්ම ධාවන ශූරයන්ට යහපත් කල දවසක් උදාවෙමින් ඇත!

"sportswashing" සුදනන් වීමට ක්‍රීඩාව යොදා ගැනීම තවත් අතීතයට දිව යයි.

වර්ණභේදවාදී පාලන සමයෙහි දකුණු අප්‍රිකාව ක්‍රීඩා තරග තම රටට ලබා ගැනීමෙහිලා දැඩි ප්‍රයත්නයක නිරත විය.

1980 වසරේ දී දකුණු අප්‍රිකාව ග්‍රෝන් ප්‍රී (Grand Prix) මෝටර් රථ ධාවන තරඟාවලියක් ද ඇතුළුව ක්‍රීඩා තරග සංවිධානය කිරීමේ සත්කාරක රාජ්‍යය වීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරූ අතර, එය දැඩි විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්ව තිබුණි.

Image caption බොක්ෂින් ශූර ඇන්තනි ජොෂුවා දෙසැම්බර් 07 දින ලෝක කිරුළ දිනා ගත්හේ සෞදි අරාබියේ රියාද් නගරයේ පැවති සටනකදීය

දැන් සෞදි අරාබියත් සිදු කරමින් සිටින්නේ ඊට සමාන ක්‍රියාවක් බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි.

(දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනය ක්‍රිකට් ක්‍රීඩකයන් තම භූමියට ගෙන්වා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරණ ලද සමයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බන්දුල වර්ණපුර ඇතුළු කණ්ඩායමක් එරට ක්‍රීඩා සංචාරයක නිරතවීම නිසා ඔවුන්ට දීර්ඝ ක්‍රීඩා තහංචියක් පනවනු ලැබුණි.)

මානව හිමිකම් නොව ක්‍රීඩාව කෙරෙහි යොමුවීම

'ඇම්නෙස්ටි ජාත්‍යන්තරය' සෞදි අරාබියේ "ඉතාම නරක" ("abysmal") මානව හිමිකම් කැරැට්ටුව ඉස්මතු කර දක්වයි.

අදහස් ප්‍රකාශනය සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි තහංචි පනවා ඇති සෞදි අරාබිය, ජාත්‍යන්තර නීතිය අනුව "සාපරාධී ක්‍රියා" නොවන වැරදි සම්බන්ධයෙන්පවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි (Jamal Khashoggi) තුර්කියේ සෞදි තානාපති කාර්යාලය තුළදී මරා දමනු ලැබීම තර්ජනයේ අන්තරාය ලෝකයට ප්‍රදර්ශනය කළේය.

"සෞදි අරාබිය" යන වචනය ඇසුණ සැණින් මහජනතාව ඉහත කී මානව හිමිකම් ආදිය නොව ක්‍රීඩා සැණකෙළි පිළිබඳව සිතන්නට පෙළඹෙනු ඇතැයි සෞදි බලධාරීන් සමහර විට බලාපොරොත්තු වෙනවා විය හැකිය.

ක්‍රීඩාවෙන් සුදනන් වීමේ න්‍යාය කරුණු දෙකක් නිසා හොඳින් පල දරයි.

පළමුවැන්න - ක්‍රීඩා උත්සව අදේශපාලනික විය යුතු බව බොහෝ ක්‍රීඩා පාලක මණ්ඩල අවධාරණය කරති.

එම පාලක මණ්ඩලවලින් වැඩි හරියකට ක්‍රීඩාව දේශපාලනයෙන් වෙන්කර තැබීම අත්‍යවශ්‍ය කරුණකි.

ලෝක පාපන්දු පාලක මණ්ඩලය (Fifa) ජාතික පාපන්දු සම්මේලන අභ්‍යන්තරයේ කිසියම් භූමිකාවක් රඟ දැක්වීමට යත්න දරණ ඇතැම් රටවලට දඬුවම් කරන අතර, එම රටවල කණ්ඩායම්වලට තරගාවලීන් නියෝජනය කිරීම අතින් තහංචි පනවයි.

දේශපාලන විවාදය සීමා කෙරුණ රටවල් ක්‍රීඩා සත්කාරක රටවල් හැටියට ආකර්ෂණය කර ගැනීමක් එමගින් සිදු වෙයි.

ලෝක පාපන්දු පාලක මණ්ඩලය (Fifa) එසේත් නැත්නම්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) වැනි සංවිධාන ක්‍රීඩා උත්සව කෙරෙන් මතභේදාත්මක මාතෘකා ඈත්කර තබන ලෙස සක්‍රීය බලපෑමක් කරයි.

උදාහරණයක් ලෙස, 2008 බේජිං ඔලිම්පික් උළෙලේ දී ටිබෙට් දේශයට පක්‍ෂව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කෙරේදැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) බලවත් සෝදිසියකින් පසුවිය.

2018 ලෝක කුසලාන තරගාවලියේ දී සර්බියාවට එරෙහිව ගෝල වාර්තා කිරීමේ දී ඇල්බේනියානු කොඩියේ අභිනයක් පළ කරමින් ප්‍රීතිය පළ කිරීමේ වරදට ස්විට්සර්ලන්ත පාපන්දු ක්‍රීඩකයන් වූ ග්‍රනිට් හකා (Granit Xhaka) සහ හර්ඩෙන් ෂකිරි (Xherdan Shaqiri) තහනමකට ලක්වීමේ අවදානමට මුහුණ දුන්හ.

වසං කිරීමේ ප්‍රයත්නය

සෞදි අරාබියේ දී තරග වැදීමට එකඟවීම මගින් ඇන්තනි ජොෂුවා වංචාවකට රැවටී ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර තිබුණි.

"සෞදි පාලනය දෝෂ දර්ශනයට ලක් කරනු ලබන ඕනෑම පුද්ගලයකු රටින් බැහැර වීමට හෝ අත්අඩංගුවට ගැනීමට හෝ එසේත් නැත්නම් තර්ජනයට ලක්ව ඇතැයි," ඇම්නෙස්ටි සංවිධානය පවසයි. එම පාලනය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් හෝ විරෝධය පළ කරනු ලැබීමේ අයිතියක් නොමැත යන්න එම සංවිධානයේ නිගමනය වෙයි.

එහෙත් එම හඬ නැගීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන අගය කරන ඇන්තනි ජොෂුවා මහා බ්‍රිතාන්‍යයේ සිට විවේචනාත්මක අදහස් පළ කරමින් "ඇඟිළි දිගු කිරීමට වඩා සෞදි පාලනය සමග සම්බන්ධ වීම වඩාත් වැදගත් බව" තම හැඟීම යයි ප්‍රකාශ කර ඇත.

තව දුරටත් අදහස් දක්වන බොක්ෂින් ශූරයා එක් තනි මිනිසකුට ලෝකය බේරා ගැනීමට හෝ එය විශිෂ්ට ස්ථානයක් බවට පත් කිරීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කරයි.

එහෙත් ඇන්තනි ජොෂුවා අඩු තරමින් තරග සංවිධායකයන්ට අවශ්‍ය කරන්නට ඇත්තේ මොනවාද? යන්න වැනි අනිවාර්ය ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුව තිබුණි.

ක්‍රීඩාව මගින් "පව් සෝදා ගැනීමට" බලාපොරොත්තු තබන රටවල් සිය සැබෑ තොරතුරු වසං කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේම අර්ථ කථනයක් නිර්මාණය කර ගනු ලැබීම මෙහිදී ඉස්මතු වෙන කාරණය විය හැක. එහෙත් එය කෙළවර වන්නේ ඔවුන් සැඟවීමට බලාපොරොත්තු වෙන දේ කෙරෙහි අවධානය යොමු කර ගැනීමෙනි.

කියවන්න: