බීබීසී විශිෂ්ටතම ඉන්දීය ක්‍රීඩිකාව: ඉන්දීය විශිෂ්ට ක්‍රීඩිකාවන්ගෙන් උගත හැකි දේ

බීබීසී විශිෂ්ටතම ඉන්දීය ක්‍රීඩිකාව (BBC Indian Sportswoman) වෙනුවෙන් පළමු වරට පිරිනැමෙන සම්මානය සදහා නිර්දේශිත නාම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

එලෙස නිර්දේශ වී ඇති ක්‍රීඩිකාවන් මෙසේය.

  • මේරි කොම් - බොක්සිං ක්‍රීඩිකා
  • දුතී චාන්ද් - කෙටි දුර ධාවන ශූරී
  • විනේෂ් ෆෝගත් - මල්ලවපොර ක්‍රීඩිකා
  • මානසි ජෝෂි - පැරා බැඩ්මින්ටන් ක්‍රීඩිකා
  • පී වී සින්ධු - බැඩ්මින්ටන් ක්‍රීඩිකා

ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, පෙබරවාරි 17 වන දා (සඳුදා) රාත්‍රී 11:30 වන තෙක් පමණි. මාර්තු 8 වන දා ඉන්දියාවේ දිල්ලි නගරයේදී පැවැත්වෙන සම්මාන උළෙලේදී ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරෙන අතර එය BBC ක්‍රීඩා වෙබ් අඩවියෙහි ද පළ කෙරේ.

මේරි කොම්

36 හැවිරිදි ඔලිම්පික් බොක්සිං ශූරී මේරි කොම් මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ සාමාජිකත්වයට පත් කර තිබේ. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 8 වරක් රන් පදක්කම් දිනා ඇති එක ම බොක්සිං ක්‍රීඩකයා/ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

2014 වසරේදී ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගනිමින් ඇය එවන් දස්කමක් කළ පළමු ඉන්දීය බොක්සිං ක්‍රීඩිකාව බවට පත් වූ අතර 2012 වසරේදී ඇය ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

"මම ඉස්කෝලෙ යන කාලේ දවසක් මොහොමඩ් අලිගේ බොක්සිං තරගයක් රූපවාහිනියෙන් දැක්කා. මොහොමඩ් අලි ක්‍රීඩා කරන හැටි දැකල තමයි මට මේ ක්‍රීඩාව ගැන ආශාවක් ඇති වුණේ," මේරි කොම් බීබීසී පුවත් සේවයට පැවසීය.

ඒ වන විට ඇයගේ දෙමාපියන් අතිශය දිළිදු මට්ටමක සිට ඇති අතර මේරි කොම්ට පාසල් නිල ඇදුම් මිල දී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව ඇය පැවසුවාය.

"එක අතකින් ඒ වගේ දුප්පත් වුණ එක හොදයි කියල මට හිතෙනවා. ඒ වගේ දුෂ්කර තත්ත්වයක් තිබුණේ නැත්නම් මට මේ වගේ තත්ත්වයකට එන්න බැහැ."

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
BBC Indian Sportswoman of the Year: මේරි කොම්

දුතී චාන්ද්

දුතී චාන්ද් යනු දකුණු ආසියානු කලාපයේ වේගවත් ම ක්‍රීඩිකාවන් අතරින් කෙනෙකි.

ඇය පසුගිය වසරේ මීටර් 100 සදහා ඇයගේ හොද ම කාලය වන තත්පර 11.22ක කාලය වර්තා කිරීමට සමත් වුවාය.

2017 වසරේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 සහ 200 තරග ඉසව් සදහා ලෝකඩ පදක්කම් 2ක් දිනූ ඇය 2018 වසරේදී එම තරග ඉසව් සදහා රිදී පදක්කම් දිනා ගත්තාය.

"ඉස්කෝලේ යන කාලේ මට කිසි ම කැමැත්තක් තිබුණෙ නෑ මලල ක්‍රීඩිකාවක් වෙන්න. මට ඕන වුණේ ඉගෙන ගන්න. මගේ අක්කා ජාතික මට්ටමේ මලල ක්‍රීඩිකාවක්. එයා කිව්වා මම ක්‍රීඩාවලට ආවොත් ඉගෙන ගන්න උදව් කරනවා කියලා. ඒ නිසයි මම ක්‍රීඩාවට යොමු වුණේ," දුතී චාන්ද් පැවසීය.

"මම ගොඩක් දුෂ්කරතාවලට මුහුණ පෑවා. මට දුවන්න සපත්තු තිබුණෙ නෑ. හොද පුහුණුකරුවෙක් හිටියෙ නෑ. ඒ නිසා මම ගමේ පාරවල්වල, ගං ඉවුරේ දුවන්න පටන් ගත්තා. එහෙමයි මම මලල ක්‍රීඩිකාවක් වෙන්න පටන් ගත්තේ."

මුල් කාලයේ මලල ක්‍රීඩා තරගවලට සහභාගි වීම සදහා දුරබැහැර ප්‍රදේශවලට ගිය විට නවාතැන් ගැනීම සදහා හෝටල්වලට ගෙවීමට මුදල් නොමැතිකම නිසා දුම්රියපළවල රැය පහන් කළ බව ඇය පැවසුවාය.

මේ වන විට ඇයගේ අපේක්ෂාව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී ජයග්‍රහණයක් ලැබීමය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
Indian Sportswoman of the Year: දුතී චාන්ද්

විනේෂ් ෆෝගත්

25 හැවිරිදි ඉන්දීය මල්ලවපොර ශූරියක වන විනේෂ් ෆෝගත් හර්යානාහි ග්‍රාමීය ප්‍රදේශයක මල්ලවපොර සදහා කැපවුණු පාරම්පරික පවුලක උපත ලද ක්‍රීඩිකාවකි.

ඇයගේ මාමා මල්ලවපොර පුහුණුකරුවෙකු වූ අතර ඇයට මල්ලවපොර ක්‍රීඩිකාවක ලෙස ඉදිරියට ඒමට අඩිතාලම වැටී ඇත්තේ, ඔහුගෙනි.

පොදුරාජ්‍ය මණ්ඩල සහ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිවලදී රන් පදක්කම් දිනූ පළමු ඉන්දීය මල්ලවපොර ක්‍රීඩිකාව ඇයයි.

"තාත්තා මැරුණාට පස්සේ ජීවිතය ගොඩක් දුෂ්කර වුණා. ගමේ අය අම්මාට කිව්වා ඔයා දැන් තනියෙන් ඉන්න නිසා ඉක්මනට දරුවන්ව විවාහ කරන්න කියලා. ඒත් අම්මා එහෙම කළේ නැහැ. අම්මට ඕන වුණේ නෑ එයා ගත කළා වගේ දුෂ්කර ජීවිතයක් අපට උරුම කරන්න," විනේෂ් ෆෝගත් පවසයි.

"ඉස්සර ගමේ ගෙදරක ගෑනු ළමයෙක් ඉපදුණා ම ගමේ අය ඇහුවේ මේ ළමයට දැන් මොක ද කරන්නේ කියලා. දැන් ගමේ අය කියන්නේ ගෑනු ළමයෙක් වුණාට කමක් නෑ, අපි ඒගොල්ලන්ව මල්ලවපොර ශූරියන් කරමු කියලා. ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වීම පදක්කමක් දිනනවා වගේ ම ජයග්‍රහණයක්."

විනේෂ් ෆෝගත් 2016 වසරේදී ඉන්දියාව වෙනුවෙන් පදක්කමක් දිනා ගනු ඇති බවට බොහෝ දෙනා අපේක්ෂා තබා තිබුණ ද, ඇයගේ දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් එය අහිමි විය.

මේ වන විට ඇගේ ඉලක්කය වී ඇත්තේ, 2020 ඔලිම්පික් තරගාවලියයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
BBC Indian Sportswoman of the Year: විනේෂ් ෆෝගත්

මානසි ජෝෂි

මානසි ජෝෂි යනු 2019 වසරේ පැරා බැඩ්මින්ටන් ලෝක ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවයි.

පාසල් කාලයේ මිතුරියන්ගේ පෙළඹවීම මත බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වූ ඇයට, 2011 වසරේදී රිය අනතුරකට ලක්වීමෙන් සිය පාදයක් අහිමි විය.

එහෙත් ඇය සිය ක්‍රීඩාව අත් හැරියේ නැත.

"කකුලක් නැති වුණාට පස්සෙ මට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇවිදින්න පවා පුහුණු වෙන්න සිද්ධ වුණා. අන්තිමට කොහොමහරි මම බැඩ්මින්ටන්වලින් 2019 පැරා ලෝක ශූරතාව හිමි කර ගත්තා. අභියෝග ගොඩක් එනවා. ඒත් ඒ අභියෝගවලට පිළිතුරුත් තියෙනවා," මානසි ජෝෂි පවසයි.

ඇය ප්‍රකාශ කළේ, තරගවලදී දක්වන උනන්දුව ම පුහුණුවීම්වලදීත් දක්වන බවය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
BBC Indian Sportswoman of the Year: මානසි ජෝෂි

පී.වී. සින්ධු

පී.වී. සින්ධු යනු ඔලිම්පික් උළෙලකදී බැඩ්මින්ටන් ක්‍රීඩාව සදහා රිදී පදක්කමක් හිමි කර ගත් පළමු ඉන්දීය ක්‍රීඩිකාවයි. 2016 ඔලිම්පික් උළෙලේදී එම ජයග්‍රහණය ලබන විට ඇයගේ වයස අවුරුදු 21කි.

2019 වසරේදී ඇය ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ බැඩ්මින්ටන් රන් පදක්කම හිමි කර ගත්තාය.

ඇය ලෝකයේ වැඩි ම ආදායමක් ලබන ක්‍රීඩිකාවන් අතර 7 වන ස්ථානයේ පසුවන බව ෆෝබ්ස් සගරාව 2018 වසරේදී ප්‍රකාශයට පත් කළේය.

"මගේ අම්මයි තාත්තයි වොලිබෝල් ක්‍රීඩකයෝ. ඒගොල්ලෝ වොලිබෝල් පුහුණු වුණ කෝට් එක තිබුණ තැන ම තමයි බැඩ්මින්ටන් කෝට් එක තිබුණේ. ඒ නිසා අම්මලා වොලිබෝල් පුහුණු වෙන අතරතුර මම බැඩ්මින්ටන් සෙල්ලම් කළා," ඇය බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක බවට පත් වූයේ එලෙසිනි.

ඇයගේ අපේක්ෂාව 2020 ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් හිමි කර ගැනීමයි.

"අපිට යම් ජයග්‍රහණයක් ලබන්න ඕන නම් යම් කැප කිරීමක් කරන්න වෙනවා. මට දෙන්න තියෙන උපදෙස තමයි - දිගට ම මහන්සි වෙලා වැඩ කරන්න, ඔබ කවදාහරි ජයග්‍රහණය කරයි."

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
Indian Sportswoman of the Year: පී.වී. සින්ධු