පුහුණුකරු හිටියා නම් මීට වඩා ලකුණු ගන්නවා - මංගල සමරකෝන්

Olympic shooting event Image copyright AP
Image caption තමා සමඟ තරඟ වැදුණු සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් ලන්ඩනයට පැමිණ සිටි බවයි, මංගල සමරකෝන් පවසන්නේ

තමාගේ පුහුණුකරුටත් ඔලිම්පික් උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකා බලධාරීන් අවසර දුන්නේ නම් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී වඩාත් හොඳ තරඟයක් දීමට තමන්ට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබුණු බව ඉලක්කයට වෙඩි තැබීමේ අංශයෙන් තරඟ වැදුණු මංගල සමරකෝන් පවසයි.

නැගෙනහිර ලන්ඩනයේ වුල්විච් ප්‍රදේශයේ පැවැත්වුණු මීටර පණහ ඉලක්කයට වෙඩි තැබීමේ තරඟයේදී ලකුණු 585 ක් ලබාගත් මංගල සමරකෝන්ට හිමිවූයේ තරඟකරුවන් පණස් දෙනකුගෙන් හතලිස් හත්වැනි ස්ථානයයි.

ඔහු ජාත්‍යන්තර තරඟයකදී දක්වා ඇති උපරිම දස්කම ලකුණු 593 ක්.

"මගේ අතින් අතපසු වීම් කිහිපයක් වෙන්න ඇති. ගොඩක්ම මට ඒ වගේ දේවල් පෙන්නලා දෙන්න මගේ ළඟ හිටිය මගේ පුහුණුකරු. නමුත් මෙහිදී මගේ පුහුණුකරුට එන්න අවස්ථාව ලැබුනේ නැහැ," බීබීසී සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ සමරකෝන් පැවසීය.

"ලංකාවේදීත් මම කිවුව මගේ පුහුණුකරුත් එක්ක යන්න ඕනයි කියල නමුත් ඒකට අවස්ථාවක් ලැබුනේ නෑ. පුහුණුකරු මාත් එක්ක හිටියනම් මම හිතනවා මට මීට වඩා හොඳ ස්කෝර් එකකට යන්න තිබුන කියල," බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

'පුහුණුකරුවන් අවශ්‍ය නෑ'

උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනා සමග නිලධාරීන් තිස් දෙනෙකු ලන්ඩනයට පැමිණ සිටින බව ජනමාධ්‍ය වාර්තා කරන නමුත්, කිසිම ක්‍රීඩකයෙකුගේ පුහුණුකරුවකු හෝ පුහුණුකාරියක එම දූත පිරිසට ඇතුලත් වී නැත.

Image copyright NOC Sri Lanka
Image caption ඔලිම්පික් තරඟාවලිය සඳහා පුහුණුකරුවන් යවන මෙන් කිසිම ක්‍රීඩා සංගමයක් නිර්දේශ කොට නැති බවයි, ජාතික ඔලිම්පික් කමිටුව පවසන්නේ

ක්‍රීඩකයන් සමඟ පුහුණුකරුවන් පිටත් කරනු වෙනුවට ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් තෝරාගෙන තිබෙන්නේ කළමනාකරුවන් පිරිසකි.

එහෙත් එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ තීන්දුවක් නොවන බවයි, එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

"ඇත්තටම ඔබ ඒ ප්‍රශ්නය යොමුකරන්න ඕන අදාළ ක්‍රීඩා සංගමයට. පුහුණුකරුවෙක් යවන්න කියල කිසිම ක්‍රීඩා සංගමයක් අපිට නිර්දේශ කරලා නැහැ" බව ඒ චෝදනාවට හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රතිචාරයයි.

ඔලිම්පික් තරඟාවලියට ප්‍රථම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණවත් පුහුණුවක් ලැබූ බව පවසන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා, එබැවින් කණ්ඩායම සමඟ පුහුණුකරුවන් යාම අත්‍යවශ්‍ය නොවන බව ද සංදේශයට පැවසීය.

එහෙත් මංගල සමරකෝන් පවසන්නේ තමා දන්නා තරමින් තමා සමඟ තරඟ වැදුණු සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් ලන්ඩනයට පැමිණ සිටි බවයි.

"පැහැදිලිවම මගේ පුහුණුකරු නැතිවීම මට ලොකු පාඩුවක්," ඔහු අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර