ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය ඕවල් ක්‍රීඩාංගනයේ

අයි.සී.සී.චැම්පියන්ස් ශූරතා 2013 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය දැන් ලන්ඩන් නගරයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙයි.

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කන්ඩායම සතු වූ නමුත් නායක ඇන්ජලෝ මැතිව්ගේ තීරණය වූයේ පළමුව පන්දු යැවීම තෝරා ගැනීමයි.

මේ මොහොතේ ඕවල් ක්‍රීඩාංගනය ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී ඇති අතර කාලගුණය වැහිබර තත්වයකි.

ශ්‍රී ලංකාව මෙම තරඟාවලියෙහි දෙවන වටය වන අර්ධ අවසාන වටයට පිවිසීමට නම් අද තරඟය ජය ගැනීම අනිවාර්ය කොන්දේසියකි.

හයසිය වැනි තරඟය

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරඟය වූ නවසීලන්තයට එරෙහි තරඟයෙන් පසු ගිය ඉරිදා කාඩිෆ් නගරයේදී පරාජය වීම නිසා දැනට සිටින්නේ කුශලතා ලකුණු ලයිස්තුවේ කිසිදු ලකුණක් නොමැති තත්වයකයි.

අද තරඟයේ තවත් විශේෂත්වයක් වන්නේ, මෙය එංගලන්ත කණ්ඩායම සහභාගී වෙන හයසිය වැනි තරඟය වීමයි.

මේ අතර ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නෙරපා හරින මෙන් ඉල්ලා සිටින උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඕවල් ක්‍රීඩාංගනය ඉදිරිපිට දක්නට ලැබෙයි.,