බීබීසී මාධ්‍යවේදියා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීම ගැන බීබීසියේ අවධානය

බීබීසී තමිල්ඕසේ වවුනියා වාර්තාකරු පී මානික්කවාසගම් කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව සිය අවධානය යොමු කොට තිබේ.

මානික්කවාසගම් වාර්තාකරුවා සිය වාර්තාකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කොට ඇති බවට තමන්ට විශ්වාශ යැයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව තවදුරටත් කියා සිටී.

ඔහු කොළඹට කැඳවා තිබුනත්, ප්‍රශ්න කිරීම සඳහා හේතු හෝ ඔහුට එරෙහි චෝදනා පිළිබඳව කලින් දැනුම්දීමක් නොකෙරුණු අතර ප්‍රශ්න කෙරුණු අවස්ථාව සඳහා නීතීඥ වරයකු කැටුව යෑමට ඔහු කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණි.

මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ඔහු වෙත දුන් දුරකථන පණිවුඩ පිළිබඳව මෙන්ම රැඳවියන්ගේ දුරකථන වලට ඔහු කළ ඇමතුම් පිලිබඳව මානික්කවාසගම් මාධ්‍යවේදියා ගෙන් පොලිසිය ප්‍රශ්න කොට තිබේ.

තමා මාධ්‍යවේදියෙක් වශයෙන් රැකියාවේ නියුතු හෙයින් මෙවැනි දුරකථන ඇමතුම් තමන් වෙත නිරන්තරයෙන් ලැබෙන බවත්, සිරකරුවන් පමණක් නොව ඔවුන්ගේ ඥාතීන් තමන් හා සංවාදයට නිරතුරුව එළඹෙන බවත් පොලීසිය වෙත පැවසූ බවයි, මානික්කවාසගම් ප්‍රකාශ කරන්නේ.

සිරකරුවන්ගේ දුක්ගැනවිලි

වසර ගණනාවක් සිරගත කොට සිටින රැඳවියන්ගේ දුක්ගැනවිලි මෙන්ම ඉක්මන් නිදහසට ඇති ඉඩකඩ මෙම සංවාද වලට මාතෘකා වන බව ඔහු පොලිසියට පවසා තිබේ.

සිරකරුවන්ගේ දුරකථන ඇමතුම් මඟ හැරුණු අවස්ථාවලදී තමන් ආපසු එම අංක ඇමතු බවද එය තම 'වෘත්තීය කටයුතු සඳහා අවශ්‍ය කතාබහක්' යනුවෙන් තමා කරුණු පැහැදිළි කර දුන් බවද, ඔහු ප්‍රකාශ කොට තිබේ.

උතුරු ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකරු ලෙස සේවය කරන තමාගේ දුරකථන අංක බොහෝ දෙනෙක් දන්නා බවද දීර්ඝ කාලයක් මුළුල්ලේ කෙරුණු ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා තිබේ.

පී මානික්කවාසගම්ට එරෙහිව පැමිණිලි ගොනු කෙරෙන්නේ ද යන්න හෝ යලි ප්‍රශ්න කිරීම සඳහා යලි කැඳවීමට බලාපොරෝත්තු වන්නේද යන්න කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකය පැහැදිළි කර නැහැ.

වවුනියාවේ පදිංචි මානික්කවාසගම්, වසර පහළොවකට අධික කාලයක් උතුරේ සිට බීබීසී දෙමළ සේවය වෙනුවෙන් වාර්තා කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකි.