තිසර පෙරේරා ගැන පරීක්ෂණ ඉන්දීය පාලක මණ්ඩලයේ වගකීමක් - අයිසීසී

Thisara Perera
Image caption තිසර පෙරේරාට එරෙහි කිසිදු චෝදනාවක් පිළිබඳව තමන්ට වාර්තා වී නැති බව පාලක මණ්ඩලය පවසයි

ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

අයිසීසීයේ සන්නිවේදන කළමනාකරු සමි උල් හසන් ඒ බව සඳහන් කළේ, ඉන්දීය ප්‍රීමියර් ලීගයේ (අයිපීඑල්) තරඟ පාවාදුන් බවට තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇතැයි ඉන්දියාවේ ඩෙකාන් ක්‍රෝනිකල් පුවත්පත විසින් පළ කොට තිබෙන වාර්තාව පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට ක්‍රීඩා කළ තිසර පෙරේරා, හනුමා විහාරි, කරන් ශර්මා සහ අශීෂ් රෙඩ්ඩි සමඟ එක්ව අයිපීඑල් තරඟයක් ඉන්දීය රුපියල් කොටි හයකට පාවා දුන් බවට ඉන්දීය ඔට්ටු අල්ලන්නෙකු මුම්බායි පොලිසියට දුන් කට උත්තරයක සඳහන් වන බවයි, පුවත්පත වාර්තා කොට තිබුනේ.

එක් ක්‍රීඩකයෙකුගේ සහෝදරයා මේ ගනුදෙනුවේදී අතරමැදියෙකු ලෙසින් ක්‍රියා කොට ඇති බවද එහි සඳහන්.

තිසර පෙරේරා තරඟ පාවාදීමට සම්බන්ධ බවට තමන්ට නිල වශයෙන් කිසිදු වාර්තාවක් ලැබී නැති බවයි, මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාරය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

දූෂණ, වංචා සහ තහනම් උත්තේජක සම්බන්ධයෙන් තමන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අවධාරණය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබඳව තමන්ට ප්‍රබල විශ්වාසයක් තිබෙන බව ද සඳහන් කරයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය පාලක මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන්නේද යන්න තවමත් අනාවරණය වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර