ලලිත් මෝඩිට ජීවිතාන්තය දක්වා තහනමක්

  • 2013 සැප්තැම්බර් 25
ලලිත් මෝඩි
Image caption අනාගතයේදීද ඉන්දීය පාලක මණ්ඩලයේ කිසිදු තනතුරක් දැරීම ලලිත් මෝඩිට තහනම්

දූෂණ චෝදනා එල්ල වී තිබෙන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ නිර්මාතෘ ලලිත් මෝඩිට ජීවිතාන්තය දක්වා තහනමක් පණවන ලද බව ඉන්දීය පාලක මණ්ඩලය පවසයි.

තමිල්නාඩුවේ චෙන්නායි අගනුවර පැවති පාලක මණ්ඩලයේ විශේෂ මහා සභා රැස්වීමකදී ඒකමතිකව මෙම තීන්දුවට එළැඹි බවද ඉන්දීය පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මේ අනුව මින් අනතුරුව ඉන්දීය පාලක මණ්ඩලයේ සියලු පරිපාලන තනතුරුවලින් ලලිත් මෝඩි නෙරපා හැරෙන අතර, අනාගතයේදී ඉන්දීය පාලක මණ්ඩලයේ කිසිදු තනතුරක් දැරීමත් ඔහුට තහනම්.

ලලිත් මෝඩිට එරෙහිව නැඟී තිබුණු චෝදනා විභාග කිරීම පිණිස පත්කරන ලද කමිටු වාර්තාව සහ එයට පිළිතුරු දෙමින් ලලිත් මෝඩි ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කරුණුද සැලකිල්ලට ලක් කිරීමෙන් අනතුරුව එම තීන්දුවට එළැඹි බවද පාලක මණ්ඩලය පවසයි.

දැන් ලන්ඩනයේ වාසය කරන ලලිත් මෝඩි තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර