ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලෝක කුසලානය දිනා ගෙන සමුගන්නවා - එෂානි

1997 සිට තරඟ බිමේ යෙදී සිටියත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට යොමු වූයේ ගිය වසර මුලදී පැවැත්වුණු කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියත් සමඟයි.

ලෝක ශූරයන් ලෙසින් තරඟාවලියට එක් වූ ප්‍රබල එංගලන්ත කණ්ඩායමත්, සත්කාරක ඉන්දීය කණ්ඩායමත් පරාජය කිරීමත් සමඟයි, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක අවධානයට ලක් වුනේ.

ශ්‍රී ලංකා පිලේ එම පෙරළිකාර ජයග්‍රහණවලට ප්‍රධානම හේතුව වූයේ තුන් ඉරියව් ක්‍රීඩිකා එෂානි කෞශල්‍යා ලොකුසූරියගේ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරණයයි.

ලෝක කාන්තා ක්‍රිකට් පිලට නම් වුනු ප්‍රථම හා එකම ලාංකීය ක්‍රීඩිකාව වීමේ භාග්‍යයද ඇයට අත් වුනේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

Image caption 'ලෝක කුසලානයට යද්දී අපිට පරදින්න කියල දෙයක් තිබ්බේ නැහැ. අපිට කරන්න දේවල් විතරයි තිබ්බේ'

කාන්තා ලෝක කුසලානයේදී දැක් වූ දස්කම් පෑ ශ්‍රී ලංකාව පිල පස් වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

"අපි ලෝක කුසලානයට යද්දී අපිට පරදින්න කියල දෙයක් තිබ්බේ නැහැ. අපිට නැතිවෙන්න දෙයක් තිබ්බේ නැහැ. අපිට කරන්න දේවල් විතරයි තිබ්බේ. ඉතින් අපි ගිහිල්ල අපිට පුළුවන් දේ කළා. මොකද අපේ කණ්ඩායමේ හරිම එකමුතුයි," එෂානි මා සමඟ කියා සිටියාය.

'ලෝක කාන්තා පිලට'

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පෙරළිකාර තරඟයක් ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟයේදී පන්දු 41කදී වේගවත් ලකුණු 56ක් ලබා ගත් එෂානි ශ්‍රී ලංකාවට තියුණු ජයක් ලබාදීමට සමත් විය.

"තරඟෙට කලින් අපි කණ්ඩායම් රැස්වීමක් තිබ්බ; නායකයා, පුහුණුකරු හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කතා කළා. ඒ රැස්වීමෙන් පස්සේ ලොකු විශ්වාසයක් තිබ්බ තමන්ගේ දේවල් හරියට කළොත් අපිට තරඟය ජයගන්න පුළුවන් වෙයි කියල. අපි හොඳට පන්දු යැව්වා, පන්දු රැක්කා නමුත් ඒගොල්ලෝ අපිට දෙසිය හතලිස් හතරක් ගැහුවා. ඒත් අපි පසුබට වුනේ නැහැ," යනුවෙනුයි, ඒ තරඟය ගැන එෂානි මතකය අවදි කළේ.

Image caption 'අඩු පන්දු ගානකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගහන්ඩ මට පුළුවන් කියල පුහුණුකරු හැම වෙලේම කියනවා'

එම තරඟයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායම් කිසි දිනක පරාජය කර නොතිබීම විශේෂත්වයක්.

"කණ්ඩායමේ කට්ටිය හොඳට පන්දුවට පහර දුන්න. මම පන්දුවට පහර දෙන්න යන වෙලාවේ මට කිසිම පීඩනයක් තිබ්බේ නැහැ. අඩු පන්දු ගානකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගහන්ඩ මට පුළුවන් කියල පුහුණුකරු හැම වෙලේම කියනවා. මම යද්දිත් පුහුණුකරු කිව්වා ඔයා මේක දිනලා එලියට එන්නේ කියලා."

අවසාන පන්දුවට කලින් පන්දුවේදී ඇය දැවී ගිය නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

"එංගලන්තය වගේ ප්‍රබල කණ්ඩායමක් පරාජය කරනවා කියන්නේ මගේ ජිවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණය සහ ලොකුම අත්දැකීමක්, මම ඒ ගැන අදටත් සතුටුවෙනවා."

ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අංක හය ක්‍රීඩා කරන පිතිකාරිනිය ලෙස තෝරා ගැනීම පිළිබඳව අදහස් දක්වන ඇය, ඒ පිළිබඳව තමන් නිහතමානීව ආඩම්බර වන බව පවසයි.

"මම කවදාවත් හිතුවේ නැහැ මට එහෙම දෙයක් ලැබේවි කියල. මේකට මගේ කණ්ඩායමට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ."

'ක්‍රීඩිකාවන් ජනප්‍රියයි'

ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඉතා ජනප්‍රිය බව පවසන එෂානි, එහි ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කාන්තාවන්ගේ උනන්දුව වැඩි වී ඇති බවද පවසන්නීය.

"පාසල් වලින් ගොඩක් ළමයි අපිට කතා කරල අහනවා, අක්කේ අපිට ක්‍රීඩා සමාජයක් හොයා දෙන්න අපි ආසයි ක්‍රිකට් ගහන්න කියල. ඉස්සර දෙමාපියන් කැමති වුනේ නැහැ ගැහැණු ළමයි ක්‍රිකට් ගහනවට, ඒත් දැන් ඒගොල්ලෝ කැමතියි කාන්තා ක්‍රිකට් වලටදරුවන් එවන්න."

Image caption 'මගේ අසමසම ක්‍රීඩකය තමයි අර්ජුන රණතුංග. එයා දක්ෂ නායකයෙක්'

ලෝක කුසලාන තරඟාවලිය රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමත් කාන්තා ක්‍රිකට් ජනප්‍රිය වීමට හේතුවක් බවයි එෂානි පවසන්නේ.

මොල්ලිගොඩ වාද්දුව වැනි ග්‍රාමීය පරිසරයක හැදී වැඩුන එෂානි ක්‍රීඩාවට යොමු වූ ආකාරය විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ, තමන් ක්‍රීඩාවට යොමු වූයේ සිය අයියා සහ මල්ලී නිසා බවයි.

"ඒ දෙන්න ගමේ පොඩි ළමයි එක්ක සෙල්ලම් කළා. ගමේ යාළුවෙක් හිටිය කොළඹ ක්‍රිකට් ගහන. එයාට කිව්වට පස්සේ එයා මාව කොළඹට එක්කර ගෙන ආවා, එයා සෙල්ලම් කරන ක්ලබ් එකට."

ක්‍රීඩා සමාජයේ දැක්වූ දස්කම් හේතුවෙනුයි, 2005 දී ඇය ජාතික කණ්ඩායමට තෝරා ගැනෙන්නේ.

ඒ අතර ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට බැඳීමට ලැබීම නිසා තමා පෙළමින් තිබුණු ආර්ථික අග හිඟ කම් කිසියම් දුරකට අඩු වූ බවත් ඇය කියා සිටියාය.

ලෝක කුසලානය අතරවාරයේ, ශ්‍රී ලංකාවේ ලෝක පූජිත ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සහ එෂානි අතර සමානතා පවතින බව ක්‍රීඩා විචාරකයෝ පැවසූහ.

Image caption අර්ජුන රණතුංග සහ එශානිගේ ක්‍රීඩා විලාශය විචාරකයෝ සංසන්දනය කළහ

තමා අර්ජුන රණතුංගගේ ක්‍රීඩා විලාශය ඉතා ප්‍රියකරන බවයි, ඒ ගැන අදහස් දක්වමින් ඇය පවසන්නේ.

"මගේ අසමසම ක්‍රීඩකය තමයි අර්ජුන රණතුංග. එයා දක්ෂ නායකයෙක්. එයා දෙයක් කරද්දී ඒක කණ්ඩායම වෙනුවෙන් කරන්නේ. කණ්ඩායම වෙනුවෙන් හැම වෙලේම බය නැතුව කතා කරනවා,"

ගතව ගිය වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් 2017 පැවැත්වෙන ලෝක කුසලානය ජයග්‍රහනය් කිරිම සිය බලාපොරෝත්ත්ව බවයි, 29 හැවිරිදි එෂානි පවසන්නේ.

"ලෝක කුසලානය ලංකාවට ගෙනත් දීල මම ක්‍රිකට් වලට සමු දෙන්නයි බලාපොරොත්තුව. ඊට පස්සේ තව බලාපොරොත්තුවක් තියෙනවා, කාන්තා ක්‍රිකට් පුහුනුකාරියක් වෙන්න."

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේදී ඉන්දීය සංචාරයකට සහ විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වීමට නියමිතයි.