ආසියානු කුසලාන තරඟ බංග්ලාදේශයේ

Afgan Cricket
Image caption ඇෆ්ගනිස්තානය එක්වීමත් සමග තරගාවලියේ තරග සංඛ්‍යාව ඉහල ගොස් තිබේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කලින් සැලසුම් කල පරිදිම බංගලාදේශයේදී පැවැත්වීමට අද කොළඹදී රැස්වුණු ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

දේශපාලනමය වශයෙන් බංගලාදේශයේ මේදිනවල ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් බංගලාදේශයේදී මෙම ක්‍රිකට් තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න තීරණයක් ගැනීම සදහා අද කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වුණු විශේෂ රැස්වීමට ඉන්දීය, පකිස්තානු, බංග්ලාදේශ හා ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රධානීහු එක්ව සිටියහ.

සාකච්චාව අවසානයේ මෙම රැසවීමේ තීරණ පිලිබඳව BBC යට අදහස් දැක්වූ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රාෆුල් හක් පැවසුවේ තරගාවලිය කලින් සැලසුම් කල පරිදිම පෙබරවාරි 25 සිට මාර්තු 7 බංගලාදේශයේ පැවැත්වෙනු ඇති බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ විස්තරාත්මකව සියලු රටවල් දැනුවත් කළ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

මෙවර තරඟාවලියට ඇෆ්ගනිස්ථානයත්

මෙවර ආසියානු කුසලානයට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමද එක්කරගනිමට මෙහිදී තීරණය කළ බව පවසන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රාෆුල් හක් මෙම තරගාවලිය ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට ලෝක 20-20 හා 2015 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට හොද පෙරහුරුවක් වනු ඇතැයි ද පැවසුවේය.

ඇෆ්ගනිස්තානය එක්වීමත් සමග තරගාවලියේ තරග සංඛ්‍යාව 7 සිට 11 දක්වා ඉහල ගොස් තිබේ.

ලෝක කුසලාන 20-20 තරඟාවලියද මාර්තු මස පැවැත්වීමට නියමිතව ඇත්තේ බන්ග්ලාදේශයේදීය .

එහෙත් මෙම සාකච්චාවේදී එම තරඟාවලියපැවැත්වීම සම්බන්දයෙන් කිසිදු සාකච්ච්වක් සිදු නොවූ බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.

මෙම ආසියානු කුසලානය බංගලාදේශයේ නොපවත්වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තමන් සුදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණි.

බංග්ලාදේශයට ශ්‍රී ලංකාවේ සහය

වර්තමාන දේශපාලන අර්බුධ හමුවේ ආසියානු කුසලානය බංගලාදේශයේ පැවැත්වීම පිළිබඳව මෙම රැස්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ගෙන් BBC ය විමසූ විට ඔහු පැවසුවේ මෙම ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය ආසියාතික රට වලට පොදු වුවක් බැවින් මෙවැනි අවස්ථාවලදී ආසියානු රටවල් එක්ව කටයුතු කළයුතු බවයි.

"ආසියාතික රටවල් එකට හිටියේ නැත්නම් ඉදිරියේදී ආසියාකරේ ක්‍රීඩාව නැතිවෙන්න පුළුවන්.

අපි මේ තත්වයට මුහුණ දුන්න, පකිස්ථානය මේ තත්වයට මුහුණ දීල තියෙනව, දැන් බංග්ලාදේශය මුහුණ දෙනවා. ඉදිරියේදී අනිත් රටවල් වලටත් බලපාන්න පුළුවන්. ආසියානු රටක් හැටියට බංග්ලාදේශයට අපිට සහයෝගය දුන්න. හැබැයි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතුයි " යනුවෙන් ඔහු පැවසීය.

ආසියානු කුසලනයට් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට 20-20 තරඟ 2 කට හා එක් දින තරඟ 3 කට බංගලාදේශයේ සංචාරය කිරීමට නියමිතය.

එම තරඟාවලියට ද සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට බලාපොරොත්තු වන බව පැවසූ නිශාන්ත රණතුංග ඒ පිලිබඳ අවසන් තීරණය මෙම මස 10 වැනිදා වන විට ගන්නා බවද පැවසීය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගාවලිය ජනවාරි 27 වනදා ආරම්භ වීමට නියමිතය.

බංගලාදේශයේ මහා මැතිවරණය හෙට පැවැත්වෙන අතර එරට විපක්ෂය වර්ජනය කරන මෙම මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට 100කට අධික පිරිසක් මිය ගොස් තිබේ.