යොවුන් ක්‍රීඩා උළෙලට හම්බන්තොට 'සූදානමක් නෑ'

Image caption 'හැම රටකම ඔලිම්පික් ව්‍යාපාරයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා'

2017 හම්බන්තොට පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතුවල ප්‍රගතියක් නැතැයි අනතුරු අඟවමින් ආසියානු ඔලිම්පික් කවුන්සිලය යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සඳුදා විශේෂ සාකච්ඡාවක් පැවති බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.

තරඟාවලිය සංවිධානය කිරීමේ කටයුතු ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට එහිදී එකඟත්වයකට එළැඹී ඇති බවයි, ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

ලිපියේ සඳහන් චෝදනාව අසත්‍යයක් නොවන නමුත්, තරඟාවලිය වෙනත් රටකට ලබා දීමේ තර්ජනයක් තවමත් මතු වී නැති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා බලධාරීන්ට තමන් එවැනි ලිපියක් යොමු කළ බව සංදේශය කළ විමසීමකදී සනාථ කළ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂ ජනරාල් හයිදර් ෆාර්මන්, වැඩිදුරටත් කියා සිටියේ එය කවුන්සිලයේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත බවයි.

'දේශපාලන බලපෑම්'

"ඒක අපි හැමදාම කරන දෙයක්. ප්‍රගතියක් නැත්නම්, තරඟාවලිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්න ආසියානු ඔලිම්පික් කවුන්සිලයට බලය තිබෙන බවට අනතුරු ඇඟවීමත් සාමාන්‍ය ප්‍රතිපත්තිය," යනුවෙන් ඔහු පැවසීය.

Image caption සංශෝධන ක්‍රියාත්මක කිරීමට 'අමාත්‍යවරයා කැප වී සිටින්නේද යන්න ප්‍රශ්නයක්'

ශ්‍රී ලංකා බලධාරීන් වෙත පසුගියදා යොමු කරන ලද එම ලිපියට මෙතෙක් පිළිතුරු ලැබී නැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

හම්බන්තොට උළෙලේ සංවිධාන කටයුතුවල පමාව මෙන්ම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳවත් සිය ලිපියේ සඳහන් වන බව හයිදර් ෆාර්මන් සනාථ කළේය.

පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ ලුසාන් නුවරදී පැවති සාකච්ඡාවේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ක්‍රීඩා නීතිය සංශෝධනය කරන බවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ ප්‍රතිඥා දුන් බව සිහිපත් කරන ආසියානු ඔලිම්පික් කමිටු නිලධාරියා, ඉතා ඉක්මනින්ම එම ප්‍රතිඥාව ක්‍රියාවට නැගීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයිද බලාපොරොත්තු පළ කළේය.

ඉදිරි ක්‍රියාමාර්ගය

"අනිවාර්යයෙන්ම අපි හැමදාමත් ඔලිම්පික් කමිටුව සහ ආණ්ඩුව අතර සහයෝගය අගය කරනවා. ඒත් ඒ අතරේම හැම රටකම ඔලිම්පික් ව්‍යාපාරයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා," යනුවෙන්ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා සංදේශයට පැවසීය.

ලුසාන් නුවරදී එවැනි ප්‍රතිඥාවක් දුන් අමාත්‍ය අලුත්ගමගේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් තමා සහ ජාතික ඔලිම්පික් කමිටුව දැඩි විවේචනයට ලක් කළ ආකාරය සිහිපත් කරන හේමසිරි ප්‍රනාන්දු, අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා සැබවින්ම කැප වී සිටින්නේද යන්න ප්‍රශ්නයක් බවත් පවසයි.

එම චෝදනාව පිළිබඳව විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

කෙසේ නමුත් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙහිලා ප්‍රගතියක් දක්නට නැත්නම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට සිදු වනු ඇති බවයි, ආසියානු ඔලිම්පික් කවුන්සිලය පවසන්නේ.

"නීතිය සංශෝධනය කරන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට මාස නමයක කාලයක් ලබා දුන්නා," බවද හයිදර් ෆාර්මන් සඳහන් කළේය.

ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යාපාරය සමඟ පවතින සම්බන්ධතාවය හෝ රටේ කීර්ති නාමය පලුදු කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක් නැතැයි තමන්ට සහතික බවද ඔහු කියා සිටියේය.