ශ්‍රී ලංකාව අයිසීසී යෝජනා ප්‍රතික්ෂේප කරයි

Image caption ඉන්දියාවට, එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට අයිසීසීයේ වැඩි බලතල හිමි වන යෝජනාවක්

අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩි බලතල ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට පැවරෙන යෝජනාවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට තිබේ.

හිටපු ක්‍රිකට් නායකයන්, හිටපු සභාපතිවරුන්, හිටපු ලේකම්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අද පැවැත්වුණු සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එය රැස්වීමට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක් බවද නිවේදනයේ සඳහන්.

ජගත් පාලක මණ්ඩලයේ පූර්ණ සාමාජිකයකු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනට තිබෙන හිමිකම් වරප්‍රසාද ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම පිණිස හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ස්ථාවරය බව එම රැස්වීමට සහභාගි වූ පිරිසට දැනුම් දී තිබේ.

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානයද මීට ඉහතදී ජගත් පාලක මණ්ඩලයේ යෝජනාවට දැඩි විරෝධය පළ කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර