ලෝක කුසලානය දිනා ගන්න 'උත්සාහ කරනවා'

Image copyright Getty Images
Image caption 'මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුනේ මට අවුරුදු හතරේදී'

ශ්‍රී ලංකාවට ලෝක කාන්තා ක්‍රිකට් කුසලානය දිනා දීම සිය අභිලාශය බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව පවසන්නීය.

චමරි අතපත්තු ඒ බව කියා සිටියේ නව නායකත්වයට පත් කරනු ලැබීමෙන් අනතුරුව කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

කාන්තා ලෝක කුසලානයක් ඉක්මනින් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැඩි උත්සාහයක යෙදෙන බව පවසන ඇය, සිය නායකත්වය යටතේ එම බලාපොරොත්තුව ඉටු කරදීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළාය.

ශ්‍රී ලංකා පුරුෂ කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වීම පිළිබඳව ප්‍රීතිය පළ කරන කාන්තා කණ්ඩායමේ නායිකාව ලෝක කුසලානයේදී දස්කම් දැක්වීමට කාන්තා කණ්ඩායමට නොහැකි වීම පිළිබඳව කනගාටු වන බවද පවසන්නීය.

'ලොකු ගමනක්'

චමරි අතපත්තුට නායකත්වය පිරි නැමෙන්නේ ශ්‍රී ලංකා කාන්තා පිලේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාව වන ශෂිකලා සිරිවර්ධන නායකත්වයෙන් ඉවත් වීමට තීන්දු කිරීමෙන් අනතුරුවයි.

ශෂිකලා, ලොව කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව වර්තමානයේ තුන් ඉරියවුවෙන් දස්කම් දක්වන ක්‍රීඩිකාවන් අතරින් පෙරමුණේම සිටින්නියයි.

වසර හයක් කණ්ඩායමේ නායකත්වය දැරූ ශෂිකලා තමන්ට 'ලොකු ගමනක්' යාමට අත හිත දෙනු ඇතැයි විශ්වාස කරන බවද චමරි අතපත්තු පවසන්නීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම ඉහල මට්ටමක පවතින නමුත් පිතිකරු අංශය තවත් ශක්තිමත් කළ යුතු බවයි නව නායිකාව පවසන්නේ.

සිය ක්‍රීඩා ජීවිතයේ ආරම්භය සිහිපත් කරන ඇය, සිවු හැවිරිදි බාල වියේදී ක්‍රීඩාව ආරම්භ කිරීමට ක්‍රිකට් පුහුණුකරුවකු වූ සිය මාමාගෙන් ලැබුණු අනුග්‍රහය සිහිපත් කරයි.

ඉන් අනතුරුව ඇය ජාතික කාන්තා කණ්ඩායමට තෝරා ගනු ලබන්නේ දහ අට වැනි වියේදී. එහෙත් ඇය සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරඟය නම් ඇයට සුන්දර සිහිවටනයක් නොවේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පළමු ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට ලැබීම චමරි අතපත්තුගේ ක්‍රීඩා ජීවිතයේ නොමැකෙන සිහිවටනයක්.

ඉන් අනතුරුව දේශීය තරඟයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමත් ඇයගේ ක්‍රීඩා ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය බාල වියේ පටන්ම තමාගේ වීරයකු වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායිකාව පවසන්නීය.

සිය දෙමාපියන්, මාමා, උගත් පාසල් සහ පුහුණුකරුවන් මෙන්ම ගුවන් හමුදාව ඇතුළු සේවා ස්ථානද සිය ක්‍රීඩා ජීවිතයට රුකුල් දුන් බව චමරි අතපත්තු වැඩිදුරටත් සඳහන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර