‘මළවුන් සැමරුමට බාධා නෑ’ - යුද හමුදාව

සිවිල් යුද්ධයෙන් මරණයට පත් ජනතාව වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ සමරු වැඩ සටහනට බාධා නොකළේ එය සැබවින්ම මළවුන්ට ගරු කිරීමේ අවස්ථාවක් වූ හෙයින් යයි යාපනය ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
අණදෙන නිලධාරියා එම ප්‍රකාශය කළේ බීබීසිය වෙනුවෙන් සංදේශයේ කොළඹ වාර්තාකරු අෂාම් අමීන් සහ ‘තමිලෝෂයි’ දෙමළ වැඩ සටහනේ වාර්තාකරු පී.මානික්කවාසගර් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.
“ඇත්තටම එය යුද සැමරුමක් නොවෙයි. එය මළවුන් සිහි කිරීමක්. සංවිධායකයන් අපට දැනුම් දුන්නා ඔවුන්ට එල්.ටී.ටී ඊ සංවිධානයත් සමඟ සබඳතා නොමැති බව. මළවුන් වෙනුවෙන් පහනක් පත්තු කර ඔවුන් සැමරීමට අපි බාධා කලේ නැහැ. ඒත් එය එල්.ටී.ටී.ඊ සැමරුමක් වුනා නම් මට ඊට බාධා කරන්න සිදු වෙනවා.” මේජර් ජනරාල් උදය පෙරේරා සඳහන් කළේය.
මළවුන් වෙනුවෙන් පහනක්
මළවුන් සැමරීමට හමුදාව බාධා කරන බවට මාධ්‍ය වාර්තා මගින් පල කෙරෙන වාර්තා ගැන ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ එවැනි වාර්තාකරණ සම්බන්ධයෙන් කනගාටුවට පත් වෙන බවයි.
“ඇතැම් කණ්ඩායම් මෙවැනි සමරු වැඩ සටහන් තුලින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා. එය අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ.” ඒ හමුදා නිලධාරියාගේ විග්රහයයි.
මේ අතර බීබීසී වාර්තාකරු පී.මානික්කවාසගර් හමුදා ආඥාපතිවරයාගෙන් විමසුවේ යාපනය සරසවිය තුළ ගුරු සිසු දෙපාර්ශ්වයට බලපාන මට්ටමින් නිකුත් කර තිබිණැයි කියන තර්ජනාත්මක නියෝග පිළිබඳවයි.
තර්ජන කතාව කුමන්ත්‍රණයක්
මේජර් ජනරාල් උදය පෙරේරාට අනුව එවැනි නියෝගයක් නොමැති අතර එය යුද හමුදාව සහ සරසවිය අතර ගැටුම්කාරී තත්වයක් ඇති කිරීමේ අදහසින් ප්‍රචාරය කරන ලද මතයකි.
තමා එම ප්‍රචාරය ගැන පරීක්ෂණයක් සිදු කළ බවත් එම මතය ගෙන යන පුද්ගලයන් සොයා ගැනීමට නොහැකි වූ බවත් ඔහු කියා සිටියේය.
යාපනය සරසවි ආචාර්ය මණ්ඩලයේ සභාපති ටී.රාසකුමරන් කොළඹ ත්‍රස්ත විරෝධී අංශයට කැඳවා ප්‍රශ්න කරණු ලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී පී.මානික්කවාසගර් විමසූ විට උතුරු ආඥාපති වරයා කියා සිටියේ මළවුන් සිහි කිරීමේ වැඩ සටහන් සහ එම ප්‍රශ්න කිරීම අතර සම්බන්ධයක් නොමැති බවයි.
ටී.රාසකුමරන්
එහෙත් ටී.රාසකුමරන් විසින් බාහිර බලවේග සමඟ පවත්වන සම්බන්ධතා සරසවියේ කටයුතු වලට බලපාන බවට ඔහුට එරෙහිව චෝදනා ඇති බවයි, යුද නිලධාරියා පවසන්නේ.
යාපනය ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී මාධ්‍යවේදී පී. මානික්කවාසගර් යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ඒ.රාසකුමාරන්ගෙන් විමසු විට ඔහු තමාට එරෙහිව පළ කෙරෙන සියලු චෝදනා බැහැර ලන බවයි කියා සිටියේ.