ලුවිස් ස්වාරෙස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

Image copyright AFP

උරුගුවේ ජාතික පාපන්දු ක්‍රීඩක ලුවිස් ස්වාරෙස්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ජගත් පාපන්දු පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.

අඟහරුවාදා ඉතාලිය හා උරුගුවේ අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගය පෙරට යමින් තිබියදී ස්වාරෙස් විසින් ඉතාලි ක්‍රීඩකයකු සපා කෑ බව ප්‍රකාශ විය.

ඉතාලි පාපන්දු ක්‍රීඩක ජෝජියෝ කෙලිනිගේ උරහිස මතට ස්වාරෙස් ඔහුගේ මුඛය තදින් තබන ආකාරයකුයි රූප දර්ශන වල සටහන් වී ඇත්තේ.

Image copyright Reuters

එම අවස්ථාවේ කෙලිනි සපා කෑමෙන් විය හැකි සලකුණ සහිත සිය උරහිස තරඟ විනිසුරුවරයාට පෙන්වූ නමුත් තරගය අතරතුරේදී ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනුණි.

ලුවිස් ස්වාරෙස් මේ සම්බන්ධයෙන් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ජෝජියෝ කෙලිනි දෙසට තමා තල්ලු වී ගියඅතර මෙවැනි දේ ක්‍රීඩා පිටිය තුළ සිදු වන බවයි.

ලුවිස් ස්වාරෙස්, පාපන්දු සමාජවලට ක්‍රීඩා කරමින් සිටිය දී වෙනත් ක්‍රීඩකයන් සපා කෑම නිසා මීට පෙර අවස්ථා දෙකකදීත් තරඟ තහනම් වලට ලක්වූ ක්‍රීඩකයෙකි.