ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය 'පහල වැටිලා'

Image copyright AFP
Image caption 'තරඟ ජයග්‍රහණය කළ පමණින්ම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් බවක් අදහස් වෙන්නේ නෑ'

එළැඹෙන ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහල නැංවිය යුතු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් සම්බන්ධ ප්‍රධානියා අවධාරණය කොට තිබේ.

එමෙන්ම කණ්ඩායමේ පන්දු රැකීම ඉතා පහල පට්ටමක පවතින බවද ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් සම්බන්ධ ප්‍රධානී කාල්ටන් බර්නඩස් ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා වෙත යොමු කරන ලද ලිපියකින් අනතුරු අඟවා තිබේ.

මේ තත්වය යටතේ 2015 දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වීමට යෝජිත ජගත් ක්‍රිකට් කුසලානයට පෙරාතුව හදිසි පුහුණු වැඩසටහන් පවත්වා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය සහ පන්දු රැකීම වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය එහි සඳහන් වන බවයි, ඩේලිමිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ.

කණ්ඩායමේ ආකල්ප

ආසියානු කුසලානය, විස්සයි විස්ස ලෝක කුසලානය සහ එංගලන්ත චාරිකාවේ සියලු තරඟාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය ජාත්‍යන්තර මට්ටමට සුදුසු නැතැයි පවසන්නේ කෙසේ දැයි සංදේශය විමසූ අවස්ථාවේ චන්නක ද සිල්වා කියා සිටියේ, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් බවක් තරඟ ජයග්‍රහණය කළ පමණින්ම අදහස් නොවන බවයි.

විශේෂයෙන්ම තරඟ තීරකවරුන්, තේරීම් කමිටුව සහ ක්‍රිකට් කමිටුවේ සාමාජිකයන්ගේ වාර්තා පදනම් කරගෙන කාල්ටන් බර්නඩස් විසින් එම ලිපිය සකස් කොට තිබෙන බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආකල්ප පිළිබඳව ගැටලුවක් පවතින බවත් ඉහත කී ලිපියේ සඳහන්.

මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ශාරීරික යෝග්‍යතාවය සහ පන්දු රැකීම ඉහල මට්ටමකට නංවා ගැනීමට ක්‍රීඩකයන්ට අවසාන කාල නියමයක් ලබා දිය යුතු බවත් කාල්ටන් බර්නඩස් ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර