ක්‍රිකට් ක්‍රීඩා පොත යළි ලියන රෝහිත් ශර්මා

Image copyright AP

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා එක් දින ක්‍රිකට් තරඟ ඉතිහාසයට නව වාර්තාවක් එක් කිරීමට සමත් විය.

ඔහු එම වාර්තාව තැබුවේ අද ‘කොල්කටා’ නගරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති සීමිත ඕවර තරඟයේ දී.

එම තරඟයේ දී විසිහත් හැවිරිදි රෝහිත් ශර්මා, පන්දු 173 කදී හතරේ පහර 33ක් සහ හයේ පහර නවයක් ද ඇතිව ලකුණු 264 ක් ලබා ගනිමිනුයි නව වාර්තාව තැබුවේ.

මේ අනුව ඔහු එක් දින තරඟයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කල ක්‍රිකට් ක්‍රීඩකයා හැටියට ක්‍රීඩා ඉතිහාසයට එක් වෙයි.

දෙවැනි ද්විත්ව ශතකය

මෙය රෝහිත් ශර්මා එක් දින තරඟවල දී ද්විත්ව ශතක වාර්තා කළ දෙවැනි අවස්ථාවයි.

හරියටම මෙයින් වසරකට පමණ පෙර බැංගලෝර් නගරයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ වදිමින් ලකුණු 209 රැස් කිරීමට ඔහු සමත් විය.

එක් දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ සෙසු ක්‍රීඩකයන් වන්නේ ඉන්දීය ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කාර් සහ ෂෙග්වග් බවත් ක්‍රීඩා වාර්තාවන් හි දැක්වෙයි.

අද(13) තරඟයේ පස්වැනි ඕවරයේදී රෝහිත් ශර්මා ලකුණු පහක් ලැබ සිටියදී දවා ලීමට තිබුණ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට මග හැරුණ අතර අන්තිමේ දී ඔහු දැවී ගියේ තරඟයේ යැවීමට ඉතිරිව තිබුණ අන්තිම පන්දුවට පෙර පන්දුවේ දී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර