වේගවත්ම අර්ධ ශතකය සනත්ට අහිමි වෙයි

Image copyright Reuters

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ. බී. ද විලියර්ස් පන්දු තිස් එකක දී ලකුණු සියයක් ලබා ගනිමින් එක් දින ජාත්‍යන්තර තරඟයක දී ලබා ගත් වේගවත්ම ශතකය වාර්තා කළේය.

ඔහු මෙම ලෝක වාර්තාව තැබුවේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ අද (ඉරිදා) පැවති තරඟයේදී.

මෙහිදී ඔහු රැස් කළ මුළු ලකුණු ප්‍රමාණය එකසිය හතළිස් නවයකි.

පන්දු හතළිස් හතරකට මුහුණ දී රැස් කළ එම මුළු ලකුණු ප්‍රමාණයට හතරේ පහර නවයක් සහ හයේ පහර දහසයක් ඇතුළත් විය.

මෙම ඉනිමේ දී, එක් දින ජාත්‍යන්තර තරඟයක දී වැඩිම හයේ පහර ප්‍රමාණයක් රැස් කිරීමේ ලෝක වාර්තාව සම කිරීමට ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ද විලියර්ස් ට හැකි විය.

වේගවත්ම අර්ධ ශතකය

මේ සමඟම එක් දින ජාත්‍යන්තර තරඟයක දී රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ද වාර්තා කිරීමට ඒ. බී. ද විලියර්ස් සමත් වෙයි.

පන්දු දහසයක දී ලකුණු පනහක් ලබා ගනිමින් ඔහු බිඳ හෙළුවේ වසර දහ නවයක් තිස්සේ සනත් ජයසුරිය සතුව තිබූ ලෝක වාර්තාවයි.

Image copyright AFP
Image caption සනත් ජයසුරිය1996 දී පකිස්තානයට එරෙහිව පන්දු 17 කට මුහුණ දී අර්ධ ශතකයක් වාර්තා කළේය.