ජගත් කුසලාන: ශ්‍රී ලංකාවට කඩුලු නමයක ජයක්

Image copyright Getty Images
Image caption කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 117 ක්

නවසීලන්තයේ වෙලින්ටන් නගරයේදී පැවැත්වුණු ලෝක කුසලාන මූලික වටයේ තරඟයේදී ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායම කඩුලු නමයකින් පරාජය කළේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 අවසානයේදී ලකුණු 309 ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 121 ක් ලබා ගැනීම කැපී පෙනුණි.

එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 47 යි පන්දු දෙකකදී කඩුලු එකක් පමණක් දවා ගෙන ලකුණු 312 ක් රැස් කරමින් කඩුලු නමයක ජයග්‍රහණයක් වාර්තා කළේය.

Image copyright Getty Images
Image caption ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 139 ක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 139 ක් සහ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 117 ක් රැස්කිරීම ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනුණු අවස්ථා.

පන්දු යැවීම 'තවම මදි'

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේදී මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකක් ජයග්‍රහණය කොට 'ඒ කාණ්ඩයේ' දෙවැනි ස්ථානයට පත් වී සිටී.

තරඟය නරඹන අතරවාරයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරන තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මන්ත්‍රීවරයා, තිරිමාන්න සහ සංගක්කාරගේ පිති හරඹයට ප්‍රශංසා කොට තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම තවත් වර්ධනය කරගත යුතු බව ඔහු සඳහන් කරයි.

ලබන මාර්තු 08 වැනි දින ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේදී තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම, මාර්තු 11 වැනි දින ස්කොට්ලන්තයට එරෙහිව තරඟවැදීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර