ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආබාධ අවාසනාවන්තයි - ධම්මික

මෙවර ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු ම ආබාධයන්ට ලක් වීම අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීම් ලෙසයි ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වූ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසන්නේ.

ක්‍රීඩකයන් පස් දෙනෙකු ම මෙලෙස ආබාධිත තත්වයට පත්වීමට හේතුව ලෝක කුසලාන තරගාවලියට පෙර සිට ම විවේකයකින් තොරව තරගවලට සහභාගි විම නොවන බවයි ඔහු බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ.

"මගේ, රංගනගේ, දිමුත්ගේ ආබාධ ඇති වුනේ පන්දුව වැදීම් නිසා, ඒකට කරන්න දෙයක් නැහැ, ඊට අමතරව ජීවන්ගේ හා චන්දිමාල්ගේ කකුලේ ආබාධ ඇති වුනා. නමුත් තරගාවලි කීපයක් එක දිගට ක්‍රීඩා කිරීම ඒකට හේතුවක් කියල කියන්න බැහැ"

කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දුර්වලතාවය මග හරවා ගැනීමට කණ්ඩායමට තවත් නිත්‍ය පන්දු යවන්නෙක් කැඳවිය යුතු බව පවසන ධම්මික ප්‍රසාද් පිතිකරුවන් ලකුණු අතර සිටීම කණ්ඩායමට වාසියක් බවයි සඳහන් කළේ.

අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග යෙදීමට බොහෝ දුරට ඉඩ ඇති බව පෙන්වා දුන් විට ධම්මික ප්‍රසාද් පැවසුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ගත් විට මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවයි.

ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් නවසිලන්තයේ දී හා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගන වලට පැමිණ කණ්ඩායමට ලබා දෙන ශක්තිය ඉතා විශිෂ්ට බවයි ඔහු පැවසුවේ.