ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුසල් 'ආරම්භක පිතිකරු ලෙස වඩාත් සුදුසුයි'

කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ හොත් ඔහුගෙන් කණ්ඩායමට මීටත් වඩා සේවයක් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු කඩුලු රකින ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ පැවසුවේය.

‘කුසල් ඉක්මන් ලකුණු ලබාගන්න ක්‍රීඩකයෙක්. ඔහුගේ දවසේ ඕනෑම පන්දු යවන්නෙක් සැහැල්ලුවට පත් කරන්න ඔහුට පුළුවන්. ඒ හින්ද ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළොත් ඔහුගෙන් මීට වඩා දායකත්වයක් ලබා ගන්න පුළුවන්’ කළුවිතාරණ පැවසුවේය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර බදාදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන අර්ධ අවසන් පුරව තරගය පිළිබඳ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

'වැඩි ඉඩකඩ'

දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් වුනත් ඔවුන් මේ මොහාතේ යම් පසුබෑමකට ලක්ව සිටින බව පැවසූ රොමේෂ් කළුවිතාරණ බදාදා පැවැත්වෙන තීරණාත්මක තරගය ජය ගැනීමේ වැඩි ඉඩකඩක් ඇත්තේ ශ්‍රී ලංකාවට බවයි කියා සිටියේ.

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ වලින් මන්දගාමී තණ තීරු ඇත්තේ තරගය පැවැත්වෙන සිඩ්නි ක්‍රීඩාංගණයේ වීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වාසි දායක බවයි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු තනතුරද දරන රොමේෂ් කළුවිතාරණ පෙන්වා දෙන්නේ.

කුමාර් සංගක්කාරගේ විශ්‍රාම යාම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් බව පැවසූ රොමේෂ් කළුවිතාරණ එදා කුමාර් තමාට කණ්ඩායමේ ස්ථානය අහිමි කරමින් කණ්ඩායමට පැමිණි ආකාරය ගැනද අදහස් පළ කළේය.

‘ මොකක්දෝ හේතුවක් නිසා ඔහුව දැකපු වෙලාවෙම මට හිතුණා ඔහු ශ්‍රී ලංකාවේ මීළඟ කඩුලු රකින ක්‍රීඩකයා කියලා. මන් ඉන්න කොට කඩුලු රකින ක්‍රීඩකයන් 8ක් 10ක් මගේ ස්ථානයට තරග කළා. සංගක්කාර ආපු වෙලාවේ මට හිතුනා මොහු තමයි ලංකාවේ ඊලග කඩුලු රැක පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයා කියලා. එදා හිතුණ දේ හරියට හරි’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ වැඩිදුරටත් කියා සිටියේය.