අයිසීසීයට එරෙහිව බංග්ලාදේශයේ උද්ඝෝෂණ

Image copyright AFP

ඉන්දියානු සහ සහ බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම් අතර ලෝක කුසලාන පූර්ව අවසාන අර්ධ තරඟයේ දී ක්‍රිකට් විනිසුරුවරුන් විසින් දෙන ලද තීන්දුවලට එරෙහිව ඩකා ඇතුළු ප්‍රධාන නගරවල මහජන උද්ඝෝෂණ ආරම්භ වූ බව වාර්තා වෙයි.

එම තරඟයෙන් බංග්ලාදේශ් කණ්ඩායම පරාජය වූ අතර විනිසුරු වැරදි තීන්දු කීපයක්ම තමන්ට අවාසි සහගත වූ බව බංග්ලාදේශ් ක්‍රිකට් පාලක මඬලට පවසන නමුත් එය විනිසුරු තීන්දුවල වරදක් නොව සිතාමතාම ඉන්දියාවට පක්ෂව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කළ කුමන්ත්‍රණයක්ය යන්න බොහෝ බංග්ලාදේශ් ක්‍රීඩාලෝලීන්ගේ අදහස වී ඇත.

Image copyright AP

ජගත් ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර බ්‍රහස්පතින්දා පැවැත්වුණු තරඟයේ තරඟ විනිසුරුවන් පිළිබඳව අයිසීසී සභාපති මුස්තාෆා කමල් කළ ප්‍රකාශයක් 'ඉතා කණගාටුදායක' බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ අතර පවසයි.

තරඟයේ විනිසුරුවන් 'පක්ෂග්‍රාහී' බවට චෝදනා කළ අයිසීසී සභාපති මුස්තාෆා කමල් ඔවුන් "සිතාමතාම" වැරදි තීන්දු දුන්නේ දැයි සැක සිතෙන බවත් අයිසීසී ය ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කියා සිටියේය.

Image copyright AFP

"විනිශ්චයකරුවන්ගේ තීන්දුවල කිසිම ප්‍රමිතියක් නෑ," යනුවෙන්ද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ වත්මන් බංග්ලාදේශ ආණ්ඩුවේ සැලසුම් පිළිබඳ අමාත්‍යවරයාද වන මුස්තාෆා කමල් ක්‍රීඩාංගනයේදී මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

'න්‍යායපත්‍රයක්'

තමන් ක්‍රිකට් ලෝලියකු ලෙසින් එම අදහස් පළ කළ බව ඔහු පවසන නමුත් අයිසීසී යේ සභාපතිවරයා වන ඔහු විනිශ්චයකරුවන් විවේචනය කිරීමේදී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබුණු බවයි අයිසීසී ය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඉන්දීය පිලේ රෝහිත් ශර්මා ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමෙන් අනතුරුව විනිසකරුවන් විසින් එය නිපන්දුවක් බව තීරණය කිරීමයි මතභේදයට ලක් වී තිබෙන්නේ.

Image copyright Getty
Image caption තරඟයේ වීරයා ලෙසින් නම්කෙරුණු රෝහිත් ශර්මා වී නොගිය බවට දුන් තීන්දුවකුයි මතභේදයට ලක් වී තිබෙන්නේ

"විනිශ්චයකරුවන්ගේ තීන්දුව අවසාන තීරණය බවත් එයට ගරු කළ යුතු" බවත් පවසන අයිසීසී ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන්, "තරඟ විනිසුරුවන් 'න්‍යායපත්‍රයක්' මත ක්‍රියා කළ බවට එල්ල වන ඕනෑම චෝදනාවක් පදනම විරහිත බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන" බවත් සඳහන් කරයි.

ඉන්දියාවට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 109 කින් පරාජය වීමත් සමඟ බංග්ලාදේශය ජගත් ක්‍රිකට් කුසලානයෙන් ඉවත්ව ගියේය.