සනත් ජයසූරිය තේරීම් කමිටුවෙන් සමු ගනී

Image copyright AFP

සනත් ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ඔවුන්ගේ පදවි වලින් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ක්‍රීඩා ඇමති නවීන් දිසානායක වෙත සිය ඉල්ලා අස්වීම ලිපියක් මගින් යොමු කරන සනත් ජයසූරිය පවසන්නේ ‘රටේ අනාගතය වෙනුවෙන් මෙහෙයක් කරනු ලැබීම් වස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තම සේවය අවශ්‍යතාව අනුව හැමවිටම ලබා ගත හැකි’ බවයි.

‘පාසල් ශිෂ්‍ය අවධියේ පටන් ක්‍රිකට් ක්‍රීඩාව මගේ ජීවිතයේම කොටසක්.ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු මෙන්ම නායකයා හැටියට අවුරුදු ගණනාවක් කටයුතු කිරීමෙන් අනතුරුව තේරීම් කමිටුවේ සභාපති පදවියේ කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලද අවස්ථාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙමි’සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු කියා සිටියි.

තමා තේරීම් කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරද්දී ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් සිහිපත් කරන ඉවත්ව යන සභාපතිවරයා, T 20 තරඟාවලිය,ආසියානු ශූරතාව සහ එංගලන්තයට එරෙහිව පැවති තරඟාවලියේ දී ලද ජය පිළිබඳව සඳහන් කර ඇත.

එසේම,තමා පදවිය දරද්දී ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ඔහු හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට සිය ලිපිය මගින් ස්තුති කර ඇත.

Image copyright AFP

ලෝක ශූරතා තරඟාවලිය

පසුගිය දා නිම වූ ලෝක කුසලාන තරඟාවලියේදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුන පූර්ව අර්ධ අවසාන තරඟයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරාගනු ලැබුණ ආකාරය සම්බන්ධයෙන් සනත් ජයසූරිය ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා විශ්ලේෂකයන්ගේ විවේචනයට ලක් විය.

හදිසියේම කණ්ඩායම තුළ වෙනසක් සිදු කරමින් කුසල් පෙරේරා සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුලත් කිරීම දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියේ ලද මහා පරාජයට හේතුව වූ බවයි බොහෝ විවේචන මගින් කියැවුණේ.

සනත් ජයසූරිය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුවට පිවිසුන අතර එම පාලන සාමය තුළ නියෝජ්‍ය ඇමතිවරයකු හැටියටත් කටයුතු කළේය.

ඔහු දැනටත් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර