ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රංගන එක් දින තරඟ වලින් සමු ගනී ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙක් වන රංගන හේරත් ට ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයේ දී ක්‍රීඩා කිරීමට නොහැකි වුයේ අබාධයකට ලක් වීම හේතුවෙන්. එම තරඟයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදු විය.

මේ අතර රංගන හේරත් එක් දින තරඟ වලින් විශ්‍රාම ගැනීමට යන බවක් අසන්නට ලැබෙන හෙයින් සංදේශය ඔහු හමුවී ඔහුගේ අබාධිත තත්වය පිලිබඳ විමසූ විට ඔහු කියා සිටියේ තත්වය හොඳ අතට හැරෙමින් පවතින බවයි.

අවසන් තීරණය

“මගේ දනිස් දෙකටම ශල්‍යකර්ම දෙකක් කරලා තියනව. ඒ නිසා තමයි ටිකක් අමාරුවෙන් ක්‍රීඩා කළේ පසුගිය අවුරුදු වල. නමුත් දැනට ලැබිල තියන විවේකයත් සමග ඉදිරියට යන්න පුළුවන් වෙයි කියල හිතනව” යනුවෙන් ඔහු පැවසීය. එක් දින තරඟ වලින් රංගන විශ්‍රාම ගන්නා බවට පැතිරෙන මත පළවීම් සත්‍ය දැයි ඇසු විට ඔහු කියා සිටියේ ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවයි.

“මම ඒ ගැන තීරණයක් ගන්න ඕන තේරීම් කමිටුවත්, කණ්ඩායමේ නායකයා, පුහුණුකරු වගේ අය එක්ක එකතුවෙලා කතා කරල. ඉදිරියේ දී එය සිදු වේවි” යනුවෙන් පැවසූ ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරඟාවලි ආදිය පිලිබඳ සලකා බලා තේරීම් කමිටුවත් සමග සාකච්චා කොට තීරණයක් ගන්නා බවයි.

මෙවර 2015 ලෝක කුසලාන තරඟාවලියෙන් අවසානය දක්වා රැඳී නොසිට ඉවත්වන්නට සිදුවීම පිලිබඳ තම අදහස් ප්‍රකාශ කළ රංගන හේරත් සඳහන් කළේ කණ්ඩායමක් ලෙස සුපුරුදු දක්ෂතා නො දැක්වීම පරාජයට හේතු වූ බවයි.

“දෙදහස් දා හතර වසරේ අද වගේ දවසක තමයි අපි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ විස්සයි විස්ස තරඟාවලියේදී. ඊටපස්සේ එංගලන්තය එක්ක තරඟාවලි දෙකම අපි ජයග්‍රහණය කළා. ඊට පස්සේ ඒෂියා කප් එක, ඒ වගේ ගොඩක් තරඟාවලි ජයග්‍රහණය කරල, නමුත් මේ අන්තිම අවස්ථාවේදී අපි පසුබෑමකට ලක් වුණා ලෝක කුසලාන තරඟාවලියේදී. ඉතින් මම හිතන්නෙ ඒකත් එක තරඟාවලියක් විතරයි නමුත් අවුරුදු හතරකට සැරයක් තමයි එන්නෙ. ඒ නිසා ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටිය. ක්‍රීඩකයොත් ඒ වගේම රටේ අයත් හැම කෙනෙක්ම බලාපොරොත්තු තියාගෙන හිටිය. නමුත් අපේ සුපුරුදු දක්ෂතා දැක්වුවේ නැති නිසා තමයි “ක්වාටර් ෆයිනල්” එකේදී පරාජය වෙන්න වුනේ දකුණු අප්‍රිකාවට” යනුවෙන් ඔහු පැවසීය.

මහේල සහ සංගක්කාර

කෙසේවුවද, වසර පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සාර්ථකව තරඟ කළ බව මතක් කළ රංගන හේරත් රටක් හැටියටත් ක්‍රීඩකයෙක් ලෙසත් පරාජය පිලිබඳ තමන් කණගාටුවන බවයි පවසා සිටියේ.

2016 තරඟාවලියේ දී විස්සයි විස්ස ලෝක කුසලානය තව දුරටත් රැක ගැනීම සඳහා මහේල සහ සංගක්කාර නැති අඩුව පිරිමසා ගත හැකි ශක්තිමත් කණ්ඩායමක් තනා ගත හැකි වේ යැයි ඔහු බලාපොරොත්තුව පළ කළේය.

නව ක්‍රිකට් පරිපාලනය පිලිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රීඩකයෙක් හැටියට පරිපාලන කටයුතු පිළිබඳව නොව ක්‍රීඩා කිරීම පිලිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

“ක්‍රීඩකයෙක් හැටියට මුලින්ම අපිට කරන්න තියෙන්නෙ ක්‍රීඩා කරන එක . ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා කිරීම කියන්නෙ දෙකක්. පරිපාලකයෝ තමයි ඒ අවශ්‍ය තීරණ ගන්නෙ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.