සීඑස්එන් නාලිකාව 'රාජ්‍ය සම්පත් යොදාගත්තේ නෑ'

Image copyright CSN

සීඑස්එන් ක්‍රීඩා නාලිකාවට ආණ්ඩුවෙන් කිසිදු විශේෂ අනුග්‍රහයක් නොලැබුන බව පවසන නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග, එය රාජ්‍ය සම්පත් යොදාගත් බවට එල්ල වන චෝදනාවද ප්‍රතික්ෂේප කරයි.

නිශාන්ත රණතුංග ඒ බව කියා සිටියේ, නාලිකාව ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී මූල්‍ය අක්‍රමිකතා සිදු කරන ලද බවට ඉදිරිපත්වූ පැමිණිල්ලක් මත පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් උදෑසන 9:30 සිට පැය පහක කාලයක් මුළුල්ලේ ඔහුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශයට පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාලිකාවේ හිමිකරුවන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස මීට ඉහතදී බීබීසී ය කළ විමසීමකදී පිළිගත්තේය.

එහෙත් නාලිකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි පොලිසියට දැනුම් දුන් බව පවසන නිශාන්ත රණතුංග තමන් 'දන්නා තරමින්' රාජපක්ෂ පුතුන් එහි හිමිකරුවන් නොවන බවයි පවසන්නේ.

සීඑස්එන් නාලිකාව අයිටීඑන් රාජ්‍ය නාලිකාවේ මැදිරි ඇතුළු සම්පත් යොදාගත් බවටත්, රූපවාහිනියේ සංරක්ෂිත වීඩියෝ පට නොමිලේ ලබාගත් බවටත් එල්ල වන චෝදනාද හිටපු විධායක නිලධාරියා ප්‍රතික්ෂේප කරයි.

"නොමිලේ ලබාගෙන නැහැ. සමහරවිට අවස්ථාවලදී ගෙවීම් කරලා දේවල් ලබාගෙන තියෙනව රාජ්‍ය ආයතනවලින්. විශේෂයෙන්ම ලින්ක් සහ ඒ වගේ දේවල්," ඔහු පැවසීය.

Image copyright Sri Lankan Police
Image caption 'ප්‍රශ්න කළේ සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් පමණයි. චෝදනා හෙළිකරන්න බෑ.'

2011 සිට 2013 දක්වා කාලය තුල නිශාන්ත රණතුංග සීඑස්එන් ආයතනයේ ප්‍රධාන විධායක පදවිය හොබවනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් පදවියද දරමින් සිටියදී.

එකල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ විකාශනය කිරීමේ අයිතිය සීඑස්එන් නාලිකාවට හිමි වූ අතර, ඒ අවස්ථාවේ ටෙන්ඩර්පත් ඉදිරිපත් නොකරන මෙන් රූපවාහිනී සංස්ථාව ඇතුළු වෙනත් ආයතනවලට දේශපාලන බලපෑම් කෙරුණු බවට චෝදනා එල්ල විය.

එවැනි බලපෑම් පිළිබඳව තමා නොදන්නා බව පවසන නාලිකාවේ හිටපු ප්‍රධානියා, ඒ අවස්ථාවේ බැඳියාවන් අතර ගැටුමක් තිබූ බවට නැගෙන චෝදනාවද ප්‍රතික්ෂේප කරන්නේ බැඳියාවන් අතර ගැටුමක් පැවති බව දැනුම් දී සමස්ත ක්‍රියාදාමයෙන් තමන් ඈත්ව සිටි බව පවසමින්. (සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර