මාෆියා බිඳින කොට ප්‍රශ්න හදනවා - නවීන්

Image copyright AFP
Image caption 'මාෆියාවට' ක්‍රීඩාව විනාශ කිරීමට හෝ 'සොරකම් කිරීමට' ඉඩ දෙන්නේ නෑ - අමාත්‍ය නවීන්

සිය අමාත්‍යංශයේ සිටින 'මාෆියා කණ්ඩායම්වල' බලය බිඳ දැමීම පිණිස ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව සංචාරක සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

විශේෂයෙන්ම කලක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගෙන සිටින 'මාෆියාවට' ක්‍රීඩාව විනාශ කිරීමට හෝ 'සොරකම් කිරීමට' ඉඩ නොදෙන බවයි, අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

එසේ එම මාෆියා කණ්ඩායම්වල බලය බිඳ දැමීමට උත්සාහ කරන විට, ඔවුන් එයට එරෙහිව බාධක ඇතිකරන බව අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ පින්නවල විවෘත සත්වෝද්‍යානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

"විශාල මුදල් එක්ක තමයි අද අපි ගනුදෙනු කරන්නේ. එම නිසා ක්‍රිකට් එකේ මාෆියාව කඩල වෙත්තමුණි මහත්තයගේ නායකත්වයෙන් ඉතාමත් හොඳ අන්තර් පාලන කමිටුවක් මම පත්කරලා තියෙනව," ඔහු පැවසීය.

එහිදී තමන් ක්‍රියා කරන්නේ ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් ප්‍රකාර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුකූලව බවද ඔහු පැවසීය.

'මාෆියාව' යනුවෙන් අදහස් කරන්නේ කවුරුන්ද යන්න සහ අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම හේතුවෙන් ජගත් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දෙන මුදල් ප්‍රතිපාදන නවතා දැමීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව විමසීම පිණිස අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ඒ පිළිබඳව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසීමට බීබීසී ය දැරූ උත්සාහයද මෙතෙක් සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර