ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් අහිමිවීමේ 'අවදානමක්'

Image copyright Getty
Image caption "අපිට තේරෙනවා ඉතාම පැහැදිලිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර තහනමකට ලක්වීමේ විශාල අවදානමක සිටින බව"

ක්‍රිකට් ක්‍රීඩාවට අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම මගින් ශ්‍රී ලංකාවට ජගත් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය අහිමිවීමේ ප්‍රබල අවදානමක් මතුවී තිබෙන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.

කිසියම් රටක පාලක මණ්ඩලයට දේශපාලන අතපෙවීම් තිබෙන්නේ නම්, අදාළ රටේ සාමාජිකත්වය අත්හිටුවන බවට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය 2012 දී හඳුන්වා දුන් නීතිය මේ වසරේ සිට ක්‍රියාත්මක වන බව ඩේලිමිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක තීරණය කිරීමත් සමඟ එම නීතිය ක්‍රියාවට නැගෙන පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වීමේ අවදානමක් තිබෙන බවයි ඔහු පවසන්නේ.

'මාෆියාවක්'

කෙසේ නමුත් අමාත්‍යවරයා අදාළ තීරණය ගෙන තිබෙන්නේ ක්‍රීඩා පනතෙන් ඔහුට පැවරී තිබෙන බලතල ප්‍රකාරව නොවේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ, එය සත්‍යයක් නමුත් ජගත් පාලක මණ්ඩලයද තමන් සතු බලතල ප්‍රකාර ක්‍රියා කරනු ඇති බවයි.

Image copyright AFP
Image caption මාෆියා බිඳින කොට ප්‍රශ්න හදනවා - අමාත්‍ය නවීන්

ක්‍රිකට් ක්‍රීඩාවේ 'මාෆියාවක්' ක්‍රියාත්මක වන බවටත්, ඔවුන්ට 'සොරකම් කිරීමට' අවස්ථාව නොදෙන බවටත් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක පින්නවලදී කරන ලද ප්‍රකාරය පිළිබඳව පෙන්වා දුන් විට ඩේලි මිරර් ක්‍රීඩා කර්තෘවරයා පැවසුවේ, හුදෙක් එවැනි ප්‍රකාශයක් කළ පමණින් ජගත් පාලක මණ්ඩලය එය පිළිගනු ඇතැයි තමන් නොසිතන බවයි.

ඩුබායි හි පැවැත්වුණු විධායක සභාවේ රැස්වීමකින් අනතුරුව නිවේදනයක් නිකුත් කරන ජගත් පාලක මණ්ඩලය, අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසන බව සඳහන් කොට තිබුණි.

"මේක තමයි පලවෙනි පියවර. මම හිතන්නේ ඔවුන් මේක අනතුරු ඇඟවීමක් වශයෙන් තමයි කරලා තියෙන්නේ," චන්නක ද සිල්වා සංදේශයට පැවසීය.

"ඔවුන්ගේ අලුත් නීතිය කියවල බැලුවහම අපිට තේරෙනවා ඉතාම පැහැදිලිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර තහනමකට ලක්වීමේ විශාල අවදානමක සිටින බව."

මතු වී තිබෙන තත්වය පිළිබඳව විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍යවරයා සහ අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර