ජගත් පාලක මණ්ඩලය 'සම්මුතිය උල්ලංඝනය කරලා'

Image caption "කිසිදු ප්‍රමාදයකින් තොරව එම මුදල් ලබා දෙන මෙන් අයිසීසී යෙන් ඉල්ලා සිටින්නෙමු"

ලෝක ක්‍රිකට් කුසලාන දෙකකට සහභාගි වීම වෙනුවෙන් අයවිය යුතුව තිබෙන මුදල් ගෙවීම අත්හිටුවීම මගින් අයිසීසී ජගත් පාලක මණ්ඩලය දෙපාර්ශවය අතර සම්මුතිය උල්ලංඝනය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පවසයි.

"කිසිදු ප්‍රමාදයකින් තොරව එම මුදල් ලබා දෙන මෙන් අයිසීසී යෙන් ඉල්ලා සිටින්නෙමු," යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර කමිටුවක් පත්කිරීම පිළිබඳව අමාත්‍යවරයාගෙන් කරුණු විමසන බව පවසන ජගත් පාලක මණ්ඩලය, එතෙක් එම මුදල් ගෙවීම අත්හිටුවීමට පසුගිය සිකුරාදා පැවති විධායක සභාවේදී තීරණය කළ බව නිවේදනය කොට තිබුණි.

එහෙත් 2104 විස්සයි විස්ස ලෝක කුසලානය සහ 2015 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වීම වෙනුවෙන් ලැබිය යුතු එම මුදල් ලබා දීම දැනටමත් බොහෝ ප්‍රමාද වී ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එම මුදල් ගෙවිය යුතුව තිබුණේ අන්තර්වාර කමිටුව පත්කිරීමට කලෙකට පෙර බවත් සඳහන් කරයි.

'නොමඟ යවන සුළුයි'

එමෙන්ම කමිටුව පත්කිරීම පිළිබඳව කරුණු විමසමින් ජගත් පාලක මණ්ඩලය මෙතෙක් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක වෙත කිසිදු ලිපියක් යොමු කොට නොමැති බවත් නිවේදනයේ සඳහන්.

Image copyright AFP
Image caption අමාත්‍යවරයාට අයිසීසීයෙන් 'මෙතෙක් ලිපියක් ලැබී නෑ'

පසුගිය සතියේ ඩුබායි හිදී පැවැත්වුණු විධායක සභා රැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයකු සහභාගි නොවීම සම්බන්ධයෙන් අයිසීසී ය කර තිබෙන ප්‍රකාශය නිවැරදි නොවන බවත් නිවේදනය පවසයි.

අන්තර්වාර කමිටුවේ නියෝජිත නුස්කි මොහමඩ් ට නිරීක්ෂකයකු වශයෙන් විධායක සභා රැස්වීමට සහභාගී වන මෙන් ආරාධනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි, අයිසීසී ය සිකුරාදා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ.

එහෙත් එම ප්‍රකාශය 'නොමඟ යවන සුළු' බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අයිසීසී යේ පූර්ණ සාමාජික රටක නියෝජිතයා වශයෙන් නුස්කි මොහමඩ් එම රැස්වීමට සහභාගි වූ බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ පරිපාලන ප්‍රශ්නයක් පිළිබඳව එම විධායක සභා රස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බැවින් නුස්කි මොහමඩ් “නිරීක්ෂකයකු” ලෙසින් එයට සහභාගි විය යුතු බව සභාපති එස් ශ්‍රීනිවාසන් එහිදී සඳහන් කළ බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහෙත් ශ්‍රී ලංකා නියෝජිතයා එයට දැඩි විරෝධය පළ කළ බවත් සඳහන් කරයි.

එහිදී රැස්වීමෙන් මඳක් ඉවතට යන මෙන් නුස්කි මොහමඩ් ට දැනුම්දීමෙන් මඳ වෙලාවකට පසුව “නිරීක්ෂකයකු” ලෙසින් සහභාගි වන මෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මෙම අර්බුදය පිළිබඳව කරුණු විමසීම පිණිස ජගත් පාලක මණ්ඩලය ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර